විශ්‍රාම වයස 60ට සීමා කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

සැප් 14, 2022

    රාජ්‍ය නිලධාරීන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමේ අයවැය යෝජනාවට අදාළ චක්‍රලේඛය අද නිකුත් කෙරුණා.  ඒ, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පාළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුවයි.

    පසුගිය 30 වැනිදා මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ 2022 අතුරු අයවැයට අනුව, විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කෙරුණා. එය, පාර්ලිමේන්තුවෙන් සම්මත කෙරුණු අතර, අවශ්‍ය ඉදිරි කටයුතු සඳහා පසුගියදා අමාත්‍ය මණ්ඩලයේ ද අනුමැතිය හිමි වුණා.

    ඒ අනුව, අද නිකුත් කෙරුණු චක්‍රලේඛයේ දැක්වෙන්නේ, 2022 ජනවාරි 6 වැනි දින නිකුත් කළ විශ්‍රාම ගැන්වීමට අදාළ චක්‍රලේඛය ලබන දෙසැම්බර් 31 වැනි දිනෙන් අවලංගු කෙරෙන බවයි.

    කෙසේ වුවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හෝ අධිකරණ සංවිධාන පනත මගින් හෝ නිශ්චිතව තීරණය කර ඇති අධිකරණ සේවයේ නිලධාරීන් හැර අන්සියලුදෙනා සඳහා නව විශ්‍රාම ගැන්වීමේ සංශෝධිත වයස බලපැවැත්වේ. අද නිකුත් කෙරුණු චක්‍රලේඛයේ පහත කරුණු මත විශ්‍රාම ගැන්වීම සිදු විය යුතුය.

    • ලබන ජනවාරි පළමු වැනිදා සිට සියලු රජයේ නිලධාරීන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 ක් විය යුතුය. 
    • එම වයස ඉක්මවා දැනට සේවයේ යෙදී සිටින හෝ ලබන දෙසැම්බර් 31 වැනි දිනට පෙර අවුරුදු 60 සම්පූර්ණ වන නිලධාරීන්ට දෙසැම්බර් 31 වැනි දින හෝ ඊට ප්‍රථම විශ්‍රාම ගැනීමට අවස්ථාව සැලසිය යුතුය.
    • විශ්‍රාම ගැනීමට අදාළ ඉල්ලුම් පත් නියමිත පරිදි විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමු කළ යුතුය.
    • විශ්‍රාම පූර්ව නිවාඩු සම්බන්ධයෙන් 2010.09.30 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය බලපැවැත්වේ.
    • අවුරුදු 60 සම්පූර්ණ වුවද, යම් අවශ්‍යතාවක් සඳහා සේවය ලබා ගන්නේ නම්, 2018.02.20 දිනැති චක්‍රලේඛය අනුව ක්‍රියා කළ යුතුයි.
    • විශ්‍රාම වැටුපට හිමිකම් කියන නිලධාරීන්ගේ අවම සේවා කාලය වසර 10 දක්වා දීර්ඝ කිරීම තවදුරටත් බලපැවැත්වේ. නව තීරණයට අදාළ විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය ඉදිරියේදී සංශෝධනය කරන බව ද, රාජ්‍ය පරිපාලන ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ.  

    ba28b472609558d4c83c84416c3619e4

    75787c8d2004d8295838d4ece7bfdbde

    Last modified on බදාදා, 14 සැප්තැම්බර් 2022 16:08

    Latest News