හෙට සිට ඇරඹෙන නෙළුම් කුළුනේ මෙහෙයුම්

සැප් 14, 2022

    කොළඹ නෙළුම් කුලුනේ මෙහෙයුම් හෙට සිට ආරම්භ කිරීමට නියමිතයි. ලබන වසරේ ජනවාරි දක්වා විවිධ උත්සව 15 ක් සඳහා මේ වන විටත් ඇනවුම් ලැබී තිබේ.

    මීටර 356 ක උසකින් යුත් කොළඹ නෙළුම් කුලුන, ලොව දැනට පවතින උසම ගොඩනැගිලි අතර, 19 වැන්නයි. මේ වන විට දේශීය ආයෝජකයින් සියයට 80 ක් හා විදේශීය ආයෝජකයන් සියයට 20ක් නෙලුම් කුලුන සම්බන්ධ ආයෝජනවලට එක්ව සිටියි.

    නෙළුම් කුලුනේ පළමු මහල කාර්යාල පහසුකම් සඳහා ලබාදීමට අපේක්ෂා කෙරෙන අතර, ඩිජිටල් සිනමා ශාලාවක්ද එහි පවතියි.

    තෙවැනි මහල සම්මන්ත්‍රණ ශාලාවකින් සමන්විතයි. එහි එකවර 400 කට පමණ පහසුකම් පවතියි. බිම් මහලේ ප්‍රසිද්ධ අවන්හල්වල සහ සමරු වෙළෙඳසල්වල අත්දැකීමද ජනතාවට අත්විඳගත හැකියි. විවෘත මහල වෙන් කෙරෙන්නේ, විවිධ විනෝදාස්වාද ක්‍රියාකාරකම් සඳහායි.

    නෙළුම් පොහොට්ටුව හැඩයේ පළමු මහලේද 400 කට පමණ අසුන්ගත හැකි සම්පුර්ණ ශාලාවක් ස්ථාපිතයි. හෙට 15 සිට ඕනෑම පුද්ගලයෙකුට ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන නෙළුම් කුලුනේ අද්දැකීම විඳ ගත හැකියි.

    ඒ සඳහා රුපියල් 500 සහ රුපියල් 2000 බැගින් වන ප්‍රවේශ පත්‍ර නිකුත් කෙරෙනවා. රුපියල් 2000  ප්‍රවේශ පත්‍රයක් ලබාගන්නා අයෙකුට පෝලිමේ නොසිට එම පරිශ්‍රයට ඇතුළු විය හැකියි. විදේශිකයෙකු නම්, අමෙරිකානු ඩොලර් 20ක ප්‍රවේශ පත්‍රයක් ලබාගත යුතුයි. ඉදිරියේදී පාසැල් ළමයින් සඳහා සහනදායී ක්‍රමවේදයක් අනුගමනය කරන බව කොළඹ නෙළුම් කුලුන පෞද්ගලික සමාගම පවසයි.

    Latest News