සනත් නිශාන්තට සිතාසි නිකුත් කිරීම පිළිබඳ නියෝගය ලබන 29 වනදා

සැප් 13, 2022

    අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනුකර තිබෙන පෙත්සම් දෙකක වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා සිතාසි නිකුත් කරන්නේ ද? නැත් ද? යන නියෝගය ලබන 29 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියෝග කළා.



    එමෙන්ම සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට විදේශ ගමන් තහනමක් පනවන ලෙස අදාළ පෙත්සම්වලින් කර තිබෙන ඉල්ලීම ඇතුළු අතුරු ඉල්ලීම් පිළිබඳ නියෝග ද එදින ප්‍රකාශයට පත් කරන බවයි අභියාචනාධිකරණය නිවේදනය කළේ.

    නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

    කරුණු සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේ දී පෙත්සමක් ඉදිරිපත් කර තිබූ නීතිඥ ප්‍රියලාල් සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නීතියේ ආධිපත්‍යය සුරැකීම සඳහා අධිකරණයේ ගෞරවය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව කියා සිටියා.

    මහජනයා අධිකරණය කෙරෙහි ගරුත්වයක් නොදක්වන්නේ නම් නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම අපහසු බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

    රටේ සෑම පුරවැසියෙකුම අධිකරණයේ ගරුත්වය ආරක්ෂා කිරීමට බැඳී සිටින බවත් ඔහු කියා සිටියා.

    ඉකුත් අගෝස්තු මස 23 වනදා සිය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ වග උත්තරකාර සනත් නිශාන්ත මහතා, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ මහේස්ත්‍රාත්වරුන්ට අගතියක් සිදු විය හැකි ආකාරයේ අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළ බව චෝදනා කළා.

    අරගලයේ දී අත් අඩංගුවට ගත් සැකකරුවන්ට මහේස්ත්‍රාත්වරු විසින් ඇප ලබා දීම ඔහුගේ ප්‍රකාශය තුළින් විවේචනයට ලක් කර ඇති බවත් ඒ තුළින් ඔහු නීතියේ ආධිපත්‍යය බරපතල ලෙස අභියෝගයට ලක් කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළා.

    මෙවැනි ප්‍රකාශ හරහා නීතිය පිළිබඳව මහජනතාව තුළ වැරදි වැටහීමක් ඇති වන අතරම අධිකරණයට බලවත් අපහාසයක් සිදු වන බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.

    තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබු නීතිඥ විජිත කුමාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සනත් නිශාන්ත මන්ත්‍රීවරයා විසින් සිදු කළ ප්‍රකාශය හරහා මහේස්ත්‍රාත්වරුන්ට බරපතල බලපෑමක් සිදු කර ඇතැයි චෝදනා කළා.

    ඔහුගේ ප්‍රකාශය තුළින් රටේ නීතිය ක්‍රියාත්මක නොවන බවට සදහන් කර ඇති අතර ඒ හරහා ඔහු මෙරට අධිකරණ බලය හෑල්ලූවට ලක් කර තිබෙන බවත් ඔහු සඳහන් කළා.

    සිය ප්‍රකාශය හරහා ඔහු අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසය පලුදු වන ආකාරයේ අදහසක් පළ කර ඇති බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා චෝදනා කර සිටියා.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.

    Latest News