IMF සහ ශ්‍රී ලංකා රජය ණය පහසුකම් මූලික ගිවිසුමට එළඹෙයි

අගෝ 31, 2022

    අන්තර් ජාතික මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය ණය පහසුකම් පිළිබඳ මූලික ගිවිසුමට අද එළඹුණා. මේ අනුව, හදිසි ණය මුදල ලබා ගැනීමේ මූලික ක්‍රියාවලිය සඳහා අවශ්‍ය පසුබිම සකස් වී තිබේ. 

    අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම, තාක්ෂණික සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවට ළඟා වූයේ ඉකුත් සතියේ. ඔවුන් ප්‍රථමයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා පැවැත්වූවා. තාක්ෂණික සාකච්ඡා ආරම්භ වූයේ ඉන් අනතුරුවයි. නියෝජිත පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගද ඊයේ සාකච්ඡා පැවැත්වුවා.

    මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉකුත් දා ප්‍රකාශ කළේ, තාක්ෂණික සාකච්ඡා සාර්ථක මට්ටමින් පැවැත්වෙන බවයි. අද නිකුත් වූ රොයිටර් වාර්තාවක සඳහන් වන්නේ, ශ්‍රී ලංකා රජය සහ IMF නියෝජිතයන් අද මූලික ගිවිසුමකට එළඹී බවයි. 

    වත්මන් ආර්ථික අර්බුදයට පිළියම් වශයෙන් IMF සංවිධානයෙන් ණය සහන පැකේජය ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ඉදිරියට ගෙන යාම සඳහා මේ අනුව ශ්‍රී ලංකා රජයට ඉඩකඩ ලැබෙන බවයි, රොයිටර් පුවත් සේවය සඳහන් කරන්නේ.  

    Latest News