මියගිය කොටියාගේ මරණය ගැන අවසන් වාර්තාව වනජීවී ඇමතිට

අගෝ 25, 2022

    සමර්හිල් කඳුකර කොටියාගේ මරණය සම්බන්ධ අවසන් වාර්තාව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාරදී තිබෙනවා.  අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට සිදුව ඇති හානිය නිසා කොටියා මරණයට පත්ව ඇති බවත්, ගසට යටවී නොමැති බවත් කමිටුව අමාත්‍යවරයාට දන්වා තිබෙනවා. 

    කඳුකර කොටියාගේ මරණය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලද්දේ, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් විසින්.  කඳුකර කොටි ගහනය ආරක්ෂා කර ගැනීම සම්බන්ධ නිර්දේශ 25 ක් අදාළ වාර්තාව මගින් ඉදිරිපත් කර තිබෙනවා. 

    කොටියා කම්බියකින් සැකසූ මද්දට හසුවී උස ගසක පහතට පැය ගණනක් එල්ලී සිටීම නිසා සිරුර අභ්‍යන්තරයේ ඉන්ද්‍රියයන්ට හානි සිදුව ඇති බවයි අනාවරණය කරගෙන ඇත්තේ.  කෙසේ වුවද, කොටියා බේරා ගැනීම සඳහා ගස කපා දැමීම අනුමත නොකරන බවද එම කමිටුවේ නිර්දේශයයි. 

    මෙවැනි දුෂ්කර ස්ථානයක අනතුරට ලක්ව සිටින සතෙකුගේ ජීවිතය බේරා ගැනීමට අවම පහසුකම් යටතේ වෙනත් විකල්පයක් නොමැති බවත් ඔවුද පවසනවා.  දුෂ්කරතා රැසක් මධ්‍යයේ කොටියාගේ ජීවිතය බේරා ගැනීමට නිලධාරීන් උත්සහ දරා ඇති බවත්, අදාළ නිලධාරීන්ට තරයේ අවවාද කළයුතු බවත් කමිටුව පවසනාවා. 

    මෙවැනි සතුන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධව ගම්වාසීන් තුළ පවතින පසුගාමී මතය දුරස් කිරීමට පියවර ගතයුතු වනවා.  ගම් මට්ටමින් වනසත්ව ආරක්ෂණ කමිටු පිහිටුවීම කෙරෙහිද අවධානය යොමු කරන ලෙස කමිටුව නිර්දේශ කර තිබෙනවා. 

    සියලු නිර්දේශ සලකා බැලීමෙන් අනතුරුව, අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරියට උපදෙස් දී ඇත්තේ කඳුකර කොටි ග්‍රහනය ආරක්ෂා කර ගැනීම සඳහා කමිටුව විසින් පෙන්වා දී ඇති නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි. 

    Latest News