කොටියා මියයාම සම්බන්ධයෙන් විමර්ශනයක්

අගෝ 10, 2022

    පසුගිය 7 වැනිදා හැටන්හිදී මද්දකට හසුවූ කඳුකර කොටියා මියයාම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙනවා.  ඒ සදහා වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ඊයේ හැටන් දික්ඔය වනරාජා වතුයායට පැමිණියා.    

    මද්දකට හසුවූ කඳුකර කොටියෙකු ඉන් මිඳී පළා ගොස් හැටන්, වනරාජාවත්තේ ගසක් මැද සිරවී සිටියදී, රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ කාර්ය මණ්ඩලයට හමු වී තිබෙනවා.   පසුව එම සතා මුදා ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කළ වනජීවී නිලධාරීන් එම ගස කපා ඇති අතර, ඊට යටවූ කඳුකර කොටියා මියගිය බවයි පසුව වාර්තා වු‍ණේ.‍

    ඒ අනුව, අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නියෝගයක් මත විමර්ශනයක් සිදු කිරීමට අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් එස්.ජී.රණසිංහ, වනජීවී සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද්, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්‍යක්ෂ අනෝමා ප්‍රියදර්ශනී මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් සිටිනවා. 

    වතුයායට පැමිණි එම විමර්ශන කණ්ඩායම කඳුකර කොටියා අවසන් වරට මද්දට හසුවී සිරවී සිටි ගස කැපූ ස්ථානය සහ කදුකර කොටියා මියගිය ස්ථානය නිරීක්ෂණය කළා.  කොටියා ගසේ සිරවී සිටින ආකාරය පළමුව දුටු එම වතුයායේ සේවකයන්ගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනුණා. 

    කොටියා මුදා ගැනීමට මෙහෙයුම් සිදු කළ නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා ඇතුළු එම කාර්යාලයේ නිලධාරීන්ගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීමට පියවර ගෙන තිබෙනවා.  කදුකර කොටියාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කොට එහි වාර්තාව විෂයබාර අමාත්‍යවරයාට සහ අමාත්‍යාංශ ලේකම්වරයාට කඩිනමන් බාරදෙන බවයි විමර්ශන කණ්ඩායම් නිලධාරියෙකු ප්‍රකාශ කළේ.

    Latest News