ජනපතිගේ අයවැය ඡන්ද තීන්දුව පොහොට්ටුවේ හුලං බැස්සීමක්

මාර් 14, 2019

    අයවැය ඡන්ද විමසීමේ දී ජනාධිපතිවරයා ගත් තීන්දුව හේතුවෙන් පොදුජන පෙරමුණ ගැටලු රැසකට මුහුණ දී ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    මාධ්‍යවේදීන් සමග පැවැති සුහද සාකච්ඡාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය පරාද කිරීමට ඇතැමුන් උත්සාහ කළත්, එය සාකච්ඡා මාර්ගයෙන් විසදා ගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. ජනාධිපතිවරයාගේ නව ස්ථාවරත්වය ඉතා හොද බවත්, ජනාධිපතිවරයා සමග පොදුජන පෙරමුණ සටනට එනවිට එක්සත් ජාතික පක්ෂය සටන් නොකිරීමේ තීරණයකට එළැබි බව අමාත්‍යවරයා සදහන් කරයි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “දෙමළ ජාතික සන්ධානය අයවැයට පක්ෂව ඡන්ද ලබාදීම සදහා කිසිම කොන්දේසියක් ඉදිරිපත් කළේ නැහැ. කොන්දේසි ඉදිරිපත් කළ බවට මාධ්‍යයේ පමණයි පළවෙන්නේ. උතුරේ ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියා. ආරුමුගම් තොණ්ඩමන් මන්ත්‍රීවරයාගේ පක්ෂය ද අයවැයට පත්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කළේ කිසිදු කොන්දේසියක් ඉදිරිපත් නොකරමින්. වත්මන් රජය ඉදිරිපත් කළ අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළා. අයවැය ලේඛණය හොද බව ජනාධිපතිවරයා ද පිළිගෙන තිබෙනවා. අයවැය පරාජය කරමින් ආණ්ඩුව පෙරලා දැමීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වන බව ඇතැම් පුවත්පත් වල ශීර්ෂ පාඨ පලවී තිබුනා. 2015 ජනවාරි 08 දින සහ 2018 ඔක්තෝබර් 26 දින සිදු කළ විප්ලව වලට සමාන ආකාරයෙන් විප්ලවයක් සිදු කර 2019 වසරේ පැවැත්වෙන මැතිවරණ ද ජයග්‍රහණය කරනවා. පොදුජන පෙරමුණ මහනුවර පැවැත් වූ රැළිය හුලං ගිය රැළියක් ලෙසයි මම දකින්නේ. ඊට සහභාගි වූ දේශප්‍රේමීන් යැයි කියා ගන්නා නායකයින් විනාඩි 07 ක් වැනි කාලයක් කථා කරලා තිබුනා. එම නිසයි හුළං ගිය රැළියක් වන්නේ.”

    වත්මන් රජය ඉදිරිපත් කළ අයවැය මැතිවරණ අයවැයක් නොවෙයි. විවිධ ක්ෂේත්‍රවලට ආදායම් ලැබෙන ආකාරයට අයවැය ඉදිරිපත් කර තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල මා ලැබූ ලොකුම ජයග්‍රහණය තමයි මත්පැන්, දුම්වැටි සහ බීඩි වල මිල ගණන් ඉහළ නැංවීම. අහිංසක ජනතාව මෙම උවදුරින් බේරා ගත යුතුයි. බෝනොවන රෝග පාලනය කිරීමේ දී දුම්කොළ සහ මත්පැන් භාවිතය අවම කළ යුතු වෙනවා යැයි ඔහු කියි සිටියේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 මාර්තු 2019 11:48

    Latest News