දමිතා අබේරත්න ඇතුළු පිරිසක් ඇප මත මුදාහැරීමට නියෝග

අගෝ 09, 2022

    පසුගිය මැයි මස 25 දා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පිවිසෙන මාර්ගය අසල පොලිස් මාර්ග බාධකයේ සිටි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ සැකකරුවන් 8 දෙනෙකු ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.



    කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් එම නියෝගය නිකුත් කළා.

    ඒ අනුව මීට පෙර අධිකරණය විසින් නිකුත්කළ නොතීසිය කට අනුව සත්‍යවේල් පියතුමා, දමිතා අබේරත්න, රතිදු සේනාරත්න හෙවත් රැට්ටා, ජගත් මනුවරණ, ජෝසෆ් ස්ටාලින් ඇතුළු අට දෙනෙකු අධිකරණය හමුවේ සිටියා.

    කොම්පඤ්ඤ වීදිය පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මැයි මස 25 වනදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසල පිවිසෙන මාර්ගයේ පිහිටි පොලිස් මාර්ග බාධකයේ සිටි නිලධාරීන්ට සහ බන්ධනාගාර බස් රථයකට බාධා කිරීම සම්බන්ධයෙන් එම සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති බව සඳහන් කළා.

    සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා සඳහන් කළේ මෙම නඩුව පොලිසිය විසින් වංචා සහගත ආකාරයෙන් ගොනු කරන ලද්දක් බවයි.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ශරීර ඇපමත මුදා හළ අතර නඩුව නැවත නොවැම්බර් මස 28 වනදා කැඳවන ලෙස නියම කළා.

    පොලිසිය කළ ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරුවන්ට හෙට දින කොම්පඤ්ඤවීදිය පොලිසියට ගොස් ප්‍රකාශ ලබා දෙන ලෙසත් නියෝග කර සිටියා.

    Latest News