ජීවන්ත පීරිස් පියතුමා ගේ පෙත්සමට නීතිපති විරුද්ධවෙයි

අගෝ 09, 2022

    තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමෙ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අරගලයේ නියුතු ජීවන්ත පීරිස් පියතුමා විසින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් බරපතල ලෙස විරුද්ධ වන බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

    නිසි අධිකරණ පටිපාටිය අනුගමනය නොකොට කෙටි මාර්ගයකින් මෙලෙස සහන පැතීම සඳහා ඉදිරිපත් වීම අනුමත කළ නොහැකි බව ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ ශවීන්ද්‍ර වික්‍රම මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

    මෙම පෙත්සම අද සලකා බැලීම සඳහා එල්.ටී.බී. දෙහිදෙනිය, එස්. තුරෙයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් යෝර්ක් වීදිය ට ඇතුළු වීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කර තිබූ බව පෙන්වාදුන් ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥවරයා ඒ පිළිබඳව කොටුව පොලීසිය විසින් පෙත්සම්කාර පියතුමාට මැයි මස 27 වනදා දැනුවත් කළ බව සදහන් කළා.

    එම අධිකරණ නියෝගය උල්ලංඝනය කරමින් පෙත්සම්කරු කටයුතු කර ඇතැයි පෙන්වා දුන් ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥවරයා ඒ තුළින් පෙත්සම්කරුට එරෙහිව අයුතු ජනරාශියක සාමාජිකයෙකු වශයෙන් කටයුතු කිරීම, අධිකරණයට අපහාස කිරීම, රජයේ සේවකයෙකුගේ රාජකාරියට බාධා කිරීම, රාජ්‍ය සේවකයින්ට අයුතු සාපරාධී බලපැම සිදු කිරීම, තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා ගණනාවක් යටතේ ඔහුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පොලිසිය විසින් කරුණු වාර්තා කර ඇති බවත් දන්වා සිටියා.

    එම කටයුත්ත පිළිබඳව පෙත්සම්කරු දැනුවත් කිරීමට පොලීසිය කටයුතු කළත් ඔහු මේ දක්වා අධිකරණයට ඉදිරිපත් වී නොමැති බවත් රජයේ නීතිඥවරයා පෙන්වා දුන්නා.

    එම සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන මේ වන විටත් අධිකරණය මගින් ඇප මත මුදා හැර තිබෙන බවයි, රජයේ නීතිඥවරයා වැඩිදුරටත් කරුණු දක්වා සිටියේ.

    එහෙත් පෙත්සම්කාර ජීවන්ත පීරිස් පියතුමා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයාට අධිකරණයට පැමිණෙන ලෙස කිසිදු දීමක් මේ දක්වා ලැබී නොමැති බවයි.

    දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය දෙපාර්ශවයට නියම කළේ මෙම නඩුවට අදාළ සීමිත විරෝධතා තිබේ නම් ඒවා ඉදිරිපත් කරන ලෙසයි.

    අනතුරුව පෙත්සම සැප්තැම්බර් මස 01 වනදා කැඳවීමට ද අධිකරණය නියම කළා.

    Latest News