නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම ලබන 20 වැනිදා - කථානායක

ජූලි 15, 2022

    නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම ලබන 20 වැනිදා සිදු කරන බව, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පැවති පක්ෂ නායක රැස්වීමේදී දැනුම් දී තිබෙනවා.

    පෙර තීරණය කළ පරිදි නාම‍යෝජනා කැඳවීම ලබන 19 වැනිදා සිදු කිරීමට නියමිතයි.

    ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග රටේ වත්මන් තත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරු 10.00 ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා. කථානායකවරයා එහිදී දැනුම් දුන්නේ, හෙට පාර්ලිමේන්තුව රැස් වන අතර, ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් පවතින බව,  පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවයි. 1981 අංක 2 දරණ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ විශේෂ විධි විධාන පනතේ 4 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපති ධුරයේ පුරප්පාඩුව ඇති වී දින තුනක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි. ඒ අනුව, එම පනතේ පස් වැනි වගන්තිය ප්‍රකාරව, ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් පවතින බව, පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා නිවේදනය කළ යුතු වනවා.

    ලබන 19 වැනි අඟහරුවාදා, නාම යොජනා කැඳවීමෙන් අනතුරුව, ලබන 20 වැනි බදාදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමෙන් අනතුරුව, මන්ත්‍රීවරයෙකු, ජනාධිපති ධුරය සඳහා තෝරා ගැනීම සිදු කරන බවයි, කථානායකවරයා සඳහන් කළේ. ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ මෙම ක්‍රියාවලිය නෛතික ප්‍රතිපාදන අනුව, කිසිදු බාධාවකින් තොරව කඩිනමින් සිදු කිරීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවද, මහින්ද යාපා අබේවර්ධන මහතා පක්ෂ නායකයන් හමුවේ කියා සිටියා.

    Latest News