ඉන්දීය යූරියා පොහොර අද සිට ගොවීන්ට

ජූලි 12, 2022

    ‍ඉන්දීය රජය ලබා දුන් යූරියා පොහොර, මෙරට වී වගාව ඇතුළු අනෙකුත් වගාවන් සඳහා යෙදවීමේ කිසිඳු ගැටලුවක්  නැතැයි, මෙරට රසායනාගාර පරීක්‍ෂණවලින් තහවුරු වි තිබේ.

    ජාතික පොහොර ලේකම් කාර්යාලය, එම පොහොර සම්බන්ධයෙන් මෙරට  ප්‍රමිති වාර්තාවක් ලබා ගැනීමට පියවර ගනු ලැබීය. ඒවායේ අන්තර්ගත “බයියුරේට්” ප්‍රතිශතය සම්බන්ධ වාර්තාව එම කාර්යාලයට ඊයේ ලැබී තිබේ.

    ඒ අනුව, එම පොහොරවල “බයියුරේට්” ප්‍රතිශතය සියයට 0.9ක් බව, එම වාර්තාව සනාථ  කර තිබේ. මින් පෙර මෙම පොහොර සම්බන්ධව ජාත්‍යන්තර රසායනාගාර වාර්තා තුනක් ලබා ගැනුණු අතර, ඒවායේ ද සඳහන් කර තිබුණේ “බයියුරේට්” ප්‍රතිශතය සියයට 0.65ක් වන බවයි.

    සාමාන්‍යයෙන් මෙරට භාවිත කෙරෙන යූරියා පොහොරවල එම ප්‍රතිශය සියයට 1ක් පමණ වන බව, ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි. එම පොහොර අද සිට “ලංකා කොමර්ෂල් පොහොර සමාගම” දිවයින පුරා පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බෙදා හැරීමට නියමිතයි.

    Latest News