මුහුදු මාර්ගයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කළ 55ක් නාවික හමුදා බාරයට...

ජූලි 12, 2022

    නාවික හමුදාව, මෙරටට ගිණිකොන දෙසින් වූ ගැඹුරු මුහුදේ දී සුළි කුණාටුවකට හසුවී ආපදාවට පත් බහුදින ධීවර යාත්‍රාවක සිටි 55 දෙනෙකු නිරුපද්‍රිතව මුදා ගෙන තිබෙනවා. ‍‍

    ඔවුන් නීති වි‍රෝධි ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහා දැරීමේ දී මෙම අනතුරට ලක්වී තිබුණා. පසුගිය 10 වැනිදා මුදා ගැනුණු ඔවුන්, අද උදේ හම්බන්තොට වරායට රැගෙන එනු ලැබ තිබෙනවා. ගැඹුරු මුහුදු ප්‍රදේශයේ පැවති අධික රළු ස්වභාවය හේතුවෙන් අවදානම් ලෙස පාවෙමින් තිබූ මෙම යාත්‍රාව තුළ සිටි පිරිසට පිරිමි පුද්ගලයන් 46 දෙනෙකු, කාන්තාවන් තිදෙනෙකු හා ළමුන් 6 ‍දෙනෙකු ඇතුළත්.

    යාත්‍රාවේ බඳට සිදු වූ හානි හේතුවෙන් එය ගිලීයාමේ අවදානමකට ලක්ව තිබූ බවයි, නාවික හමුදාව පවසන්නේ. දින කිහිපයක් යාත්‍රාව ගැඹුරු මුහුදේ පාවෙමින් තිබී ඇති අතර, ආහාර හා ජලය හිඟ වීමෙන් කිහිප දෙනෙකු අසාධ්‍ය තත්වයේ සිට තිබෙනවා. නාවික හමුදාව සතු “පරාක්‍රමබාහු” නෞකාවෙන් පිරිස ගොඩබිමට රැගෙන ඒමට පියවර ගෙන තිබේ. අධික ලෙස මුහුදු ජලය කාන්දු වීම නිසා ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ධීවර යාත්‍රාව අතහැර දැමීමට සිදු වූ බව, නාවික හමුදාව පවසනවා. ඉදිරි විමර්ශන සඳහා සැකකරුවන් හම්බන්තොට පොලීසිය වෙත බාර දීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 12 ජූලි 2022 17:36

    Latest News