අන්තරේ පා ගමනට එරෙහි පොලිසියේ ඉල්ලීම ප්‍රතික්ෂේප වේ

ජූලි 08, 2022

    අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාකරුවන්ට කුරුඳුවත්ත පොලිස් වසම තුළ පිහිටි මාර්ග කිහිපයකට අද සහ හෙට දින ඇතුළු වීම වළක්වන නියෝගයක් නිකුත් කරන මෙන් පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.

    කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම ඉල්ලීම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා හමුවට ඉදිරිපත් කළා.

    කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දන්වා සිටියේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා කරුවන් පිරිසක් පාගමනින් විහාර මහා දේවී උද්‍යානයේ සිට මරදාන ටෙක්නිකල් හන්දිය හරහා ජනාධිපති මන්දිරය වෙත පිවිසීමට අද සහ හෙට දිනවල සූදානම් වන බවයි.

    මෙම උද්ඝෝෂණ මුල දී සාමකාමී ආකාරයෙන් සිදු වුණත් පසුව ප්‍රචණ්ඩ තත්ත්වයට පත්වන බව කී පොලිසිය එබැවින් කුරුඳුවත්ත පොලිස් වසම තුළ පිහිටි මාර්ග කීපයකට ඇතුළු වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා.

    මෙහිදී වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නිදහසේ ගමන් බිමන් යාමේ මූලික අයිතිය ජනතාව සතු වන බව සඳහන් කළා.

    ඊට එරෙහිව නියෝග ලබා ගැනීමට පොලිසියට හැකියාවක් නොමැති බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ.

    මෙම උද්ඝෝෂණයේ දී යම් කලහාකාරී තත්ත්වයක් ඇති වන්නේ නම් ඊට එරෙහිව කටයුතු කිරීමට පොලීසියට බලය තිබෙන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මේ එබැවින් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිටියා.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා පොලිසිය විසින් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

    Latest News