යුපුන් අබේකෝන්ට ජනපතිගෙන් සුභ පැතුම්

ජූලි 04, 2022

    මීටර 100 ධාවන ඉසව්ව තප්පර 10 ට අඩු කාලයකින් නිම කළ පළමු දකුණු ආසියාතික ක්‍රීඩකයා වීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යුපුන් අබේකෝන්ට සුබ පැතුම් එක් කර තිබේ ඒ, ඔහුගේ නිල ට්විටර් ගිණුම ඔස්සේයි.

    යු‍පුන් අබේකෝන් ඊයේ මීටර 100 ධාවන ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව සහ දකුණු ආසියානු වාර්තාව යළිත් අලුත් කිරීමට සමත් වුණා. ඒ, ස්විට්සර්ලන්තයේ පැවති මලල ක්‍රීඩා තරගාවලියකදී.

    යුපුන් මෙහිදී ඉසව්ව නිම කළේ, තප්පර 9.96 ක කාලයක් වාර්තා කරමින්. මෙරට ඉතිහාසයේ මෙන්ම දකුණු ආසියාතික ඉතිහාසයේ ද මීටර 100 ඉසව්ව තප්පර 10 කට අඩු කාලයකින් නිම කළ පළමු ක්‍රීඩකයා ලෙසයි, යුපුන් ඉතිහාසයට එක් වුණේ.
    මේ අතර, මීටර 100 ධාවන ඉසව්ව තප්පර 10 ට අඩුවෙන් නිම කළ දස වැනි ආසියානු ක්‍රීඩකයා වන්නේ ද යුපුන් අබේකෝන්.
    යුපුන්ගේ දක්ෂතාව වාර්තා වන්නේ, මෙතෙක් ආසියාතික ක්‍රිඩකයෙකු මීටර 100 ඉසව්වේදී වාර්තා කළ සිව්වැනි හොඳම කාලය ලෙසයි.

    යුපුන් අබේකෝන් ජාත්‍යන්තර තලයේදී පළමු වරට ශ්‍රී ලංකාව නියෝජනය කළේ, 2013 වසරේදී. 2020 වසරේ සැප්තැම්බර් 8 වැනිදා ජර්මනියේ ඩේසු හිදී පැවති මලල ක්‍රීඩා තරගාවලියේදී ඔහු මීටර 100 ධාවන ඉසව්වේ ශ්‍රී ලංකා මෙන්ම දකුණු ආසියාතික වාර්තාවේද හිමිකරු බවට පත් විය.

    ඒ, තප්පර 10.16 ක කාලයකින් තරගය නිම කරමින්. අනතුරුව, 2021 වසරේ ඉතාලියේ සවෝනා හිදී පැවති මලල ක්‍රීඩා තරගාවලියේදී තප්පර 10.15 ක කාලයකින් තරගය නිම කරමින් ඔහු මීටර 100 ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව යළිත් අලුත් කරනු ලැබීය.

    මෙම වසරේ මැයි මස 25 වැනිදා යුපුන් අබේකෝන් මීටර 100 ධාවන ඉසව්වේ ශ්‍රී ලංකාව සහ දකුණු ආසියාතික වාර්තාව යළිත් අලුත් කළේ, ජර්මනියේ ඩේසු හිදී.

    ඒ, තප්පර 10.06 කාලයකින් මීටර 100 ධාවන ඉසව්ව නිම කරමින්.

    Latest News