මහ බැංකු බැඳුම්කර නඩුවක කැදවීමට දින නියම වෙයි

ජූලි 04, 2022
    2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් මිලියන 688ක බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි, චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ජුලි මස 21 වැනිදා කැඳවන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.
    මෙම නඩුව අද චම්පා ජානකී රාජරත්න සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියෙහි කැදවනු ලැබීය.
     මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කරමින් විත්තිකරුවන් විසින් මීට පෙර මූලික විරෝධතා ගොනු කර තිබිණ.
    අද නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥ  උදාර කරුණාතිලක මහතා විසින් එම මූලික විරෝධතා වලට අදාල ලිබිත දේශන ඉදිරිපත් කළේය.
    මේ සම්බන්ධයෙන් විත්තිකරුවන්ගේ පැහැදිලි කිරීම් තිබේ නම් ඒවා මීළඟ දින ඉදිරිපත් කරන ලෙස නියම කළ විනිසුරු මඩුල්ල නඩුව නැවත ජුලි මස 21 දා කැඳවන ලෙස නියම කළේය.
    2015 වසරේ පෙබරවාරි මස 27 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන ලද බැඳුම්කර වෙන්දේසියේ දී  රුපියල් මිලියන 688 ක් වටිනා බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, හිටපු නියෝජ්‍ය අධිපති පත්තිනිගේ සමරසිරි, පර්පචුවෙල් ට්‍රෙෂරිස් ආයතනය, එම ආයතනයේ අධ්‍යක්ෂවරුන් වන ජෙෆ්රි ඇලෝසියස්, අර්ජුන් ඇලෝසියස් කසුන් පලිසේන ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනු කර තිබිණ. 
     
     
     
     

    Latest News