රාජ්‍ය සේවකයින්ට විදෙස් ගතවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

ජූනි 22, 2022

    රාජ්‍ය සේවකයින්ට වසර 05ක කාලයක් සඳහා විදේශ ගතවීමට අදාළ වන විශේෂ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

    ජේෂ්ඨත්වයට සහ විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට වසර 05ක උපරිමයකට යටත්ව දේශීය සහ විදේශීය වැටුපට අදාළ කර ගත හැකි ආකාරයට වැටුප්‍ රහිත විදේශ නිවාඩු ලබා ගත හැකිවේ.

    වයස අවුරුදු 35ට අඩු රාජ්‍ය නිලධාරීන්ට තොරතුරු තාක්ෂණ දැනුම, ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවක / භාෂා දැනුම වර්ධනය කර ගැනීමට හෝ පිළිගත් ආයතනයක වෘත්තීය පුහුණුවක් සම්පුර්ණ කිරීම සඳහා හෝ වසරක කාලයක උපරිමයට යටත්ව දේශීය හෝ විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගත හැකිය. 

    එම චක්‍රලේඛය අනුව විදේශ ගතවන රාජ්‍ය සේවකයින් ඔවුන්ගේ නමට විවෘත කරන ලද අනේවාසික ගිණුමක් හරහා සෑම මාසයකම නිශ්චිත විදෙස් මුදල් ප්‍රමාණයක් එවීම සිදුකළ යුතුවේ.

    එහිදී ප්‍රාථමික සේවා ගණනයේ නිලධරයන් මාසිකව අමෙරිකානු ඩොලර් 100ක්, ද්විතීයක ගණයේ නිලධරයන් මාසිකව ඩොලර් 200ක්, තෘතීයක සේවා ගණයේ නිලධරයන් මාසිකව අමෙරිකානු ඩොලර් 300ක් සහ විධායක සේවා ගණයේ නිලධරයන් මාසිකව ඩොලර් 500ක මුදලක් මාස් පතා මෙරට පිහිටි සිය අනේවාසික ගිණුම් වෙත එවීම සිදුකළ යුතු බව එම චක්‍රලේඛයේ සඳහන් වේ.

    CD32F25F FFAA 4275 9E54 ACF7E7981F1D

    Last modified on බදාදා, 22 ජූනි 2022 12:18

    Latest News