ශ්‍රීලනිපයට එරෙහිව නිකුත් කළ වාරණ නියෝගයක් දීර්ඝ කෙරේ

ජූනි 20, 2022

    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු හා නිලතළවලින් ඉවත් කිරීම සහ ඊට බාධාකිරීම වළක්වාළමින් එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු මධ්‍යම කාරක සභාව වෙත නිකුත් කර තිබෙන වාරණ නියෝගය මේ මස 22 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළා.

    මෙම නඩුව අද කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

    මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව සමථයකට පත්කිරීම සම්බන්ධයෙන් පාර්ශවකරුවන් සාකච්ඡා කරන බවත් එවැනි සමථයක් ඇති නොවන්නේ නම් දැනට නිකුත් කර තිබෙන වාරණ නියෝගය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් තමන් විරෝධතා ඉදිරිපත් කරන බවත් සඳහන් කළා.

    ඒ අනුව විත්තියේ විරෝධතාවලට යටත්ව වාරණ නියෝගය ඉදිරි දින තෙක් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බවත් එම නීතිඥවරුන් සඳහන් කළා.

    ඒ අනුව විත්තියේ විරෝධතාවලට යටත්ව අදාළ වාරණ නියෝගය ලබන 22 වනදා දක්වා දීර්ඝ කරන ලෙස නියෝග කළ දිසා විනිසුරුවරිය එදින නඩුවට අදාළ උත්තර සහ විරෝධතා ඉදිරිපත් කරන ලෙස පාර්ශවකරුවන්ට නියම කළා.

    නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍ය වරයා අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් කර තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්වීමෙන් පසුව අමාත්‍ය ධුර භාර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් ඉකුත් මැයි මස 13 වන දා පැවති බවයි.

    එම රැස්වීමේදී අමාත්‍ය ධූර බාර ගැනීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් නොගත් බව ද ඔහු සඳහන් කළා.

    ඉන් අනතුරුව තමන්ව මධ්‍යම කාරක සභා රැස්වීම්වලට කැඳවීමක් නොකෙරුනු බවත් ඔහු සිය පැමිණිල්ලෙන් සඳහන් කළා.

    ඉන් අනතුරුව රජයේ අමාත්‍ය ධුර බාර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය දක්වමින් එම පක්ෂය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් ඇතැයි සඳහන් කරන පැමිණිලිකාර නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ පිළිබඳව තමන්ව දැනුවත් කර නොමැති බවත් කියා සිටියා.

    කෙසේ වෙතත් තමා රටේ යහපත උදෙසා අමාත්‍ය තනතුරක් භාරගැනීමට තීරණය කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දරනු ලබන ජේෂ්ඨ උප සභාපති ඇතුළු සෙසු තනතුරුවලින් ඉවත් කිරීමේ සූදානමක් පවතින බවට කරුණු අනාවරණය වී ඇතැයිද ඔහු කියා සිටියා.

    මේ ආකාරයෙන් සිය නිලතල හා තනතුරු අහිමි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හෝ එහි මධ්‍යම කාරක සභාවට බලයක් නොමැති බවත් ඔහු පෙන්වා දෙනවා.

    එබැවින් මෙලෙස තමන්ව පක්ෂ නිලතලවලින් ඉවත් කිරීමට කටයුතු කිරීම හෝ බාධා කිරීම වැළැක්වීමේ වාරණ නියෝගයක් සහ ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙම පැමිණිල්ල කොළඹ දිසා අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

    Latest News