දෙහිවල සත්වෝද්‍යානයේ ගහණය වැඩි විදේශීය සතුන් පින්නවලට

ජූනි 17, 2022

    දෙහිවල සත්වෝද්‍යානයේ සිටින විදේශීය සතුන් අතරින් මේ වනවිට ගහණය ඉහළ ගොස් ඇති සතුන් පින්නවල නව සත්වෝද්‍යානය තුළට යොමු කිරීමේ වැඩ පිළිවෙළක් ජාතික සත්වොද්‍යාන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.

    ඊයේ (16) පස්වරුවේ වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ නිලධාරින් සමග කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සාකච්ඡාවක් පවත්වනු ලැබීය. එහිදී පින්නවල හා රිදියගම සත්වොද්‍යානවල ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධව සාකච්ඡා කරනු ලැබීය.

    එම අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත්, වනසම්පත් සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    පින්නවල සත්වොද්‍යානය තුළ විශාල ඉඩකඩක් තිබුනත් තවමත් එම උද්‍යානය මහජන ආකර්ශණයට ලක් වී නොමැතිවීමට හේතුව කුමන්දැයි අමාත්‍යවරයා එහිදී විමසීය. දැනට එම සත්වෝද්‍යානයේ දේශීය සතුන් ඇතත් විදේශීය සතුන් නොමැතිවීම ඊට හේතුව බව නිලධාරිහු පැවසූහ. කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සතුන් හුවමාරු වැඩ සටහන අත්හිටුවීමෙන් පසුව එම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක නොවුනත් ඉදිරි කාලය තුළ නැවතත් සතුන් හුවමාරු වැඩ පිළිවෙළ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

    එමෙන්ම දැනට දෙහිවල සත්වොද්‍යානය තුළ සිටින ඇතැම් විදේශීය සතුන්ගේ ගහණයේ ඉහළ යාමක් ඇති නිසා එම අමතර සතුන් පින්නවල සත්වෝද්‍යානයට යොමු කිරීමට තීරණය විය.

    මේ අතර සත්වෝද්‍යානවල සතුන්ට ආහාර සැපයීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන හිඟය නිසා සතුන් රැකබලාගැනීම සඳහා ආරම්භ කළ දායකත්ව කැපකරු වැඩ පිළිවෙළට විශාල පිරිසක් මේ වනවිට දායකත්වය සපයා ඇති බව අවධාරණය විය.

    ජාතික සත්වොද්‍යාන දෙපාර්තමේන්තුව විසින් රිදියගම අක්කර 20ක සතුන් සඳහා අවශ්‍ය ආහාර වගා කිරීමේ ගොවිපොළක් ද අලුතින් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

    Last modified on සිකුරාදා, 17 ජූනි 2022 16:46

    Latest News