ධම්මික පෙරේරා දිවුරුම් දීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙත්සමක්

ජූනි 16, 2022

    ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු ලෙස දිවුරුම් දීම වලක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

    එමෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් ධම්මික පෙරේරා මහතා පත් කිරීමට අදාළ ව මැතිවරණ කොමසාරිස් වරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

    මාධ්‍යවේදිනියක වන රොයෙල් රේමන්ඩ් විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ.

    එහි වගඋත්තරකරුවන් ලෙස ධම්මික පෙරේරා, ශ්‍රී ලංකා පොදු පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්, කථානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක, මැතිවරණ කොමසාරිස් වරයා, මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ,සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

    පෙත්සම්කාරිය සඳහන් කර සිටින්නේ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් පුරපාඩු වූ විට ඒ සඳහා පත් කිරීමට හැකියාව ලැබෙන්නේ මහමැතිවරණයේදී දිස්ත්‍රික්ක සඳහා භාරදුන් නාමයෝජනාවල නම් ඇතුළත්ව සිටින පුද්ගලයකු හෝ ජාතික ලැයිස්තුවේ නම් සදහන් පුද්ගලයකුට පමණක් බවයි.ෙ

    එහෙත් ධම්මික පෙරේරා මහතාගේ නම ඉකුත් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රවල හෝ ජාතික ලැයිස්තුවේ ඇතුළත් ව නොතිබූ බැවින් ඔහු පාර්ලිමේන්තුවේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයක් සඳහා පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99(අ) වන වගන්තියට පටහැනි බවයි පෙත්සමෙන් පෙන්වා දෙන්නේ.

    එබැවින් මෙම පත්කිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

    Latest News