අන්තරේ පාගමනට අද අධිකරණය දුන් නියෝගය

ජූනි 02, 2022

    විශ්වවිද්‍යාල සිසුන් විසින් අද දින කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ අසළ සිට වෝඩ් පෙදෙසේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දක්වා ගමන් කිරීමට නියමිත පා ගමනේ, මං මාවත් කීපයකට ඇතුළුවීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

    කෙසේ වෙතත් අදාළ පාගමන්කරුවන් නීතිය හෝ සාමය කඩවන ආකාරයෙන් කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 95 වන වගන්ති යටතේ කටයුතු කිරීමට පොලිසියට බලය තිබෙන බවත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

    අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් විසින් අද දින පැවැත්වීමට නියමිත මෙම පාගමන සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුවයි, මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේ.

    කුරුඳුවත්ත පොලීසිය වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ශවීන්ද්‍ර වික්‍රම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යෝජිත පා ගමනේ දී සාමය කඩවීමේ සිද්ධීන් ඇතිවීමට ඉඩකඩ පවතින හෙයින්, කුරුඳුවත්ත බල ප්‍රදේශයේ පිහිටි මංමාවත් කිහිපයකට හා රාජ්‍ය ආයතනවලට ඔවුන් ඇතුළුවීම වළක්වාලීමේ නියෝගය නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

    ඒ අනුව ස්ටැන්මෝ චන්ද්‍රවංකය, බෞද්ධාලෝක මාවත, කැප්පෙටිපොළ මාවත, ලිප්ටන් වටරවුම, වෝඩ් පෙදෙස, පස්වන පටුමග, මල් පාර මැකෙන්සි පාර, කේම්බ්‍රිජ් පෙදෙස ඇතුළු මංමාවත් හා ඒ ආශ්‍රිත රාජ්‍ය ආයතනවලට ඇතුළු වීම වැළැක්වීම නියෝගයක් නිකුත් කර ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    කෙසේ වෙතත්, එම ඉල්ලීම සළකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තිය යටතේ සාමකාමී ලෙස උද්ඝෝෂණය පැවැත්වීමට හිමිකමක් තිබෙන බවයි.

    එහෙත් මෙම පා ගමනේදී සාමය කඩවන ආකාරයෙන් සිදුවීම් වාර්තා වූවොත්, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 95 වැනි වගන්තිය යටතේ කටයුතු කිරීමට පොලිසියට බලතල තිබෙන බවත් මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේය.

    Latest News