හිටපු ඇමති ජොන්ස්ටන්ට අල්ලස් කොමිසමෙන් යළිත් නඩු

මැයි 30, 2022

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් අද කොළඹ මහාධිකරණය හමුවේ යළි නඩුවක් ගොනු කළා.

    ඒ, අමාත්‍ය වරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී ස.තො.ස ආයතනයේ සේවකයින් සිය නිත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට රුපියල් 8465000/- ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින්.

    මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ස.තො.ස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මොහොමඩ් ශාකීර් යන අය නම් කර තිබෙනවා.

    මෙම චෝදනා සම්බන්ධයෙන් ඉකුත් යහපාලන රජය සමයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබුණා.

    එහෙත් එම නඩු සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තුන්දෙනාගෙන් ඉකුත් ලිඛිත අනුමැතිය හිමිවී නොමැති බවට විත්ති පාර්ශවය විසින් මතුකළ මූලික විරෝධතා සලකා බැලීමෙන් අනතුරුව එම කොමිසම විසින් අදාළ චෝදනා ඉල්ලා අස්කරගෙන තිබුණා.

    ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් එම චෝදනාවලින් නිදහස් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා.

    ඉන් අනතුරුවයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් අද යළි මෙම අධි චෝදනා පත්‍ර ගොනු කර තිබෙන්නේ.

    2010 වසරේ ජනවාරි මස 01 සහ එම වසරේ සැප්තැම්බර් මස 31 වනදා දක්වා කාලසීමාව තුළ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ස.තො.ස ආයතනයේ සේවකයින් සිය නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කොට දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදු කර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව යළි අධිචෝදනා පත්‍ර ගොනු කරනු ලැබුවා.

    මෙම නඩුවේ සාක්ෂි කරුවන් වශයෙන් පුද්ගලයින් 45 දෙනෙකු නම් කර ඇති අතර සාක්ෂි වශයෙන් ලේඛන 09 ක් ද ඉදිරිපත් කර තිබෙනවා.

    Latest News