ජොන්ස්ටන් ප්‍රනාන්දුට තවත් අල්ලස් නඩුවකට අධිචෝදනා බාරදෙයි

අගෝ 30, 2022
    2012 වසරේ සතොස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවලට යෙදවීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලූ තුන්දෙනෙකුට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දීම සිදු කෙරිණ.
    කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ මෙම චෝදනා භාරදෙනු ලැබීය. 
    අනතුරුව ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන් රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් ඇප දෙකක් මත මුදා හැරීමටද මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.
    අනතුරුව නඩු විභාගය ඔක්තෝම්බර් මස 21 වැනිදා පැවැත්වීමටත් දින නියම විය. 
    මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයක් වන මොහොමඩ් සාකීර් යන අය නම් කර තිබේ. 
    2012 වසරේ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද යටතේ අල්ලස් කොමිසම විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව මෙම නඩුව ගොණුකර තිබේ. 
     

    Latest News