පෝලිම් නැති කරන්න, ඩොලර් මි. 500ක පංගුකාරයෙක් වෙන්න - විදේශ රැකියා අමාත්‍ය මනුෂ

මැයි 23, 2022

    මේ වන විට රටේ පවතින ගෑස් පෝලිම, පෙට්‍රල් පෝලිම, විදුලි කප්පාදුව, බෙහෙත් හිගයට විසදුම් සෙවීම සදහා මාසයකට ඩොලර් මිලියන 500ක් විදේශ ගත ශ්‍රමිකයින් හරහා මෙරටට ගෙන්වා ගත යුතු බව පැවසූ කමිකරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ඩොලර් මිලියන 500 කොටස්කරුවෙක් බවට පත්වන්නැයි ඔහු විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

    අද (23) කම්කරු අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසුවේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීවේය.

    “අද දවස වන විට මේ රටේ ඉතාමත් බරපතල ගැටලු රාශියක් නිර්මාණය වෙලා, මේ රටේ ආර්ථිකය කඩාගෙන වැටිලා, රට බංකොලොත්භාවයට පත්වීමට ආසන්න තත්වයකට පත්වෙලා, ණය ගෙවීම් සම්බන්ධයෙන් බරපතල තත්වයකට පත්ව තිබෙනවා. මිනිස්සු කන්න බොන්න නැතිව, ආර්ථික වශයෙන් කඩාගෙන වැටිලා ගෑස් පෝල්ම්වල, තෙල් පෝලිම්වල ඉන්නේ. ඒ වගේම නොයෙක් බෙහෙත් වර්ග නොමැතිවීම නිසා රෝහල්වල මිනිසුන් මිය යනවා. දරුවන් වේදනාවෙන් කෑ ගසනවා.

    මේ අයගේ වේදනාව, මිනිස්සුන්ගේ ප්‍රශ්ණය විසදීමට බොහෝ අය බය වෙලා සිටින වෙලාවක, ඩොලර් ප්‍රශ්ණය ලේසියෙන් විසදන්න බෑ කියන ඇතැම් පණිවුඩ නිසා ඇතිවූ බය නිසා වගකීම් භාරගැනීමට බොහෝ දෙනෙක් පස්සට අඩිය තියද්දී, වගකීමක් භාගත්තොත් දේශපාලන අනාගතය විනාශ වෙයි කියලා හිතද්දී අපි වගකීම භාරගත්තේ මේ රටේ මිනිසුන්ගේ ප්‍රශ්ණ විසදීමට අපි දායකත්වය ලබාදිය යුතු යැයි විශ්වාස කරන නිසා. අපි ඒ අභියෝගය භාරගත්තා. වගකීම භාරගත්තා.

    අද දවස වන විට ගෑස් පෝලිම්, තෙල් පෝලිම්, විදුලි කප්පාදුව, කිරිපිටි නොමැතිකම, බෙහෙත් නැතිකම වගේ අත්‍යවශ්‍ය කාරණාවලට විසදුම් ලබාදීමට අපි එකතුවී සිටිනවා. අපි මේ ගැන මහ බැංකු අධිපතිවරයා සමග සාකච්ඡා කළාම මේ ගැටලු විසදා ගැනීමට කොතරම් මුදල් ප්‍රමාණයක් අවශ්‍ය දැයි විමසා සිටියා. එතුමා අපිට සදහන් කළේ විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් මාසයකට ඩොලර් මිලියන 500ක් ලැබෙනවා නම් පෝලිම් ටික නැති කරන්න, බෙහෙත් ටික දීලා මිනිස්සු මැරෙන එක නැති කරන්න, විදුලි කප්පාදුව නතර කිරීමට හැකියාව ලැබෙන බවයි

    මේ වෙලාවේ ක්ෂණිකව අපිට කරන්න පුලුවන් කාරණාව තමයි ඩොලර් මිලියන දෙසීය, තුන්සීය දක්වා වැඩිවී තිබෙන විදේශ ශ්‍රමිකයින් මෙරටට එවන ආදායම, ඩොලර් මිලියන 500 දක්වා ඉහළ නංවා ගැනීම. මේ වගකීම, විදෙස් ගත ශ්‍රමිකයින් භාරගැනීමට සූදානම්ද කියන ප්‍රශ්ණය තමයි අපි අහන්නේ.

    මේ රටේ අම්මලා, තාත්තලා පෝලිම්වල සිටියදී, දරුවන් බෙහෙත් නැතිව වේදනාවෙන් කෑ ගසද්දී, මිය යද්දී, ගෑස් ගන්න පෝලිම්වල දවසම මිනිස්සු කාලය නාස්ති කරන එක නැති කරන්න, ජනතාවට සහනයක් ලබාදෙන්න විදෙස් ගත ශ්‍රමික ඔබ සූදානම්ද කියන ප්‍රශ්නය තමයි අපිට තියෙන්නේ. මම දන්නවා, ඔබ සූදානම්. ඒ නිසා අපි ඔබත් සමග එකතු වෙලා මේ වගකීම ඉටු කිරීමට සූදානම් කියන පණිවුඩය තමයි දෙන්නේ.

    විදෙස් ගත ශ්‍රමිකයින් වැඩ කරන ගමන්, තමන්ට පුලු පුලුවන් විදියට දුරකතන ඇමතුම් දීලා අපේ මුදල් වැරදි පාරේ යන්නේ කියලා කියනවා. හරි පාරෙන් මේ මුදල් රට ඇතුලට ගේන්න වැඩපිළිවෙලක් හදන්න, ඒකට යම් කිසි සහායක් ලබාදෙන්න කියලා ඒ අය ඉල්ලීම් කරනවා.

    සමහර අය කතා කරලා, අපි නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තා. විශ්වවිද්‍යාලවලට ගියේ නිදහස් අධ්‍යාපනයෙන්, වෛද්‍යවරු, ගණකාධීකාරීවරු බවට පත්වුනේ නිදහස් අධ්‍යාපනයෙන් කියලා කියනවා. ලෝකයේ විවිධ තැන්වල සේවය කළත්, පරිප්පු කිලෝ එකෙන්, සීනි කිලෝ එකෙන්, ඩීසල්, පෙට්‍රල්වලින් අය කරගත්ත බදු මුදල්වලින් ඉගෙන ගත්ත බව පවසනවා. රටේ කන්න නැතිව ඉන්න, බෙහෙත් නැතිව මැරෙන මිනිස්සුන්ට බෙහෙත් දෙන්න ඩොලර් නම් අවශ්‍ය අපි ඉක්මනින් මේ රටට මුදල් එවීමට සුදානම් කියලා ඒ අය කියනවා. මෙ ලෝකයේ වටේ ඉන්න උගත් බුද්ධිමත් ශ්‍රමිකයින්, එම රටවල ස්ථීර පදිංචිකරුවන් වෙන්න පුලුවන්. නමුත් ඔබේ සහෝදර සහෝදරියන් ලංකාවේ දුක් විදිමින් සිටිනවා. ඒකට විසදුම තමයි හරි බැංකුවක් හරහා රටට ඩොලර් එවීම තමයි. ඒ නිසා තමන්ගේ රටේ ජීවත්වන ඥාතියෙක්ට, මිත්‍රයෙක්ට තෑග්ගක් විදියට මුදල් ඩොලර් ටිකක් එවන්න.

    ඩොලර් මිලියන 500ක් මේ රටට එව්වොත් මේ පෝලිම් ටික නැති කරන්න පුලුවන්. අපේ රටේ ජනතාවගේ දුක නැති කරන්න පුලුවන්. ඒ එන මුදල ඒ කාර්යය සදහා යොදවන බවට අපි සහතික වෙනවා. මේ රටේ ජනතාව දුක් විදින එක ඔබට බලාගෙන ඉන්න අමාරුයි කියලා අපි දන්නවා. ඒ නිසා ඒ වෙනුවෙන් අපිට දෙන්න පුවන් පූර්ණ සහාය ලබාදෙන්න කියලා ඉල්ලනවා

    මේ ඩොලර් මිලියන 500 පංගුකාරයෙක් වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ මුදල් එවීමේදී, එවන ලද මුදල් ප්‍රමාණය මත තීරුබදු සහන ලබාගැනීමේ අවස්ථාව ලබාදීමේදී, අදාල සහන වැඩි කිරීමට අපි අද දිනයේදී කැබිනට් මණ්ඩලයට යෝජනා කරනවා. ඒ වගේම වසරක කාලයක් ඇතුළත ඩොලර් ලක්ෂයක මුදලක් ලංකාවට එවලා තියෙනවා නම් වාහනයක් ආනයනය කිරීමේ අවසර පත්‍රයක් ලබාදීමට අපි යෝජනා කරනවා. ඒ වගේම යම් බදු සහනයක්, ලබාදීමටත් යෝජනා කරනවා. ඒ වගේම අඩු පොලීයට නිවාස ණයක්, ලංකාවට එවූ මුදල්වලට සාපේක්ෂව ලබාදීමට අපි යෝජනා කරනවා. සහන පොලීයට ණය ලබාදීමටත් අපි යෝජනා කරනවා. ඒ වගේම ඩොලර් පනස් දහසක්වත් එවලා තියෙනවා නම් පාසල්වලට සහ උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුළත් කිරිමේදී ලකුණු ක්‍රමවේදයක් හදන්න කියලා අපි ඉල්ලනවා

    ඒ වගේම විදෙස් ගත ශ්‍රමිකයින් එවන මුදල් ප්‍රමාණය මත රජයේ ඉඩම් ඔවුන් වෙත ලබාදීමේ සහන වැඩපිළිවෙලක් සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය සමග එක්ව ක්‍රියාත්මක කිරීමට අපි යෝජනා කරනවා. ඒ වගේම විදේශගත ශ්‍රමිකයින් සදහාම වූ විශේෂ කාඩ් පතක් අපි හදුන්වා දෙනවා. ඒ කාඩ් එක හරහා, ලංකාවට එද්දීත්, තමන්ගේ පවුලේ අයටත් වට්ටම් ලබාදීමට ආයතන රැසක් ඉදිරිපත්ව තිබෙනවා. ඒ වට්ටම විගමණික ශ්‍රමිකයාට ඔහුට විතරක් නෙමෙයි, ඔහුගේ පවුලේ අයටත් ලබාදීමට අපි කටයුතු කරනවා

    ගුවන්තොටුපොල හරහා දේශපාලඥයින් රතු පලස් දමා පිළිගන්නවා වෙනුවට මේ ශ්‍රමිකයින් තමයි රතු පලස් දමා පිළිගන්න ඕන. මිනිස්සු කාල ඇදලා ඉන්නේ, අපේ රටට තෙල් ටික ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙන්නේ ඒ අය රටට ඩොලර් එව්වොත් විතරයි. එහෙම ඩොලර් එවන අය පිළිගැනීමට සුවිශේෂී කවුන්ටරයක් තිබිය යුතුයි. ඒ අයගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී අඩු සැලකිලි තියෙනවා කියලා අපිට තොරතුරු ලැබී තිබෙනවා. ඒ ගැනත් අපි අවධානය යොමු කරලා අදාලා ආයතන සමග සාකච්ඡා කරලා, සහයෝගය ලබාදීමට කටයුතු කරනවා. එතැනදී මේ කාඩ් පත වැදගත් වේවි.

    විගමණික ශ්‍රමිකයින් තමන් ඉන්න රටේදී ගැටලුවලට මුහුණ දෙන විට ඒ ප්‍රශ්ණවලටත් තානාපති කාර්යාල හරහා විසදුම් ලබාගැනීමට අපහසුතාවක් තිබෙනවානම් සෘජුව මා ඇමතීමට වට්ස් ඇප් අංකයක් එනවා. පටිගත ඔබේ පණිවුඩයක් විදියට එය එවන්න. ඒ අංක තමයි 0777 44 2500. වට්ස් ඇප් පණිවුඩ හරහා ඔබේ අදහස් අපිට එවන්න.

    මේ රට දුෂ්කර අවස්ථාවකට ඇවිත් තියෙන වෙලාවක, ඩොලර් මිලියන 500 පංගුකාරයෙක් වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. මේ රටේ ණය අරගෙන, ප්‍රශ්ණය විසදන්න බෑ. ණය අරගෙන මිනිස්සු තවත් ණය කාරයින් බවට පත් කරන්න බෑ. මේ රටේ නිෂ්පාදන ආර්ථිකය හදන්න ඕන වගේම විදේශ ගත ශ්‍රමිකයින් විදියට විදෙස් ගතව සිටින ඔබ මේ ඩොලර් ප්‍රමාණය ලබාගැනීමට අපිට උදව් කළොත් මේ රට තවත් ණය කිරීමට උවමනා නැති ආකාරයට දායකත්වය ලබාදෙන්න පුලුවන් වේවි.

    ඔබ 2019 දී ජාතික කොඩිය අරගෙන ලංකාවට ආවා. දැන් මේ වෙලාවේ ඔබේ සහාය අත්‍යවශ්‍යම මොහොත. ඩොලර් මිලියන 500 පංගුකාරයෙක් බවට පත්වෙලා රට ආරක්ෂා කරගැනීම, ජාතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙළ ගැසෙන්න කියලා ඉල්ලීමක් කරනවා”

    Latest News