පාසල් අද සිට සාමාන්‍ය පරිදි

මැයි 17, 2022

    පසුගිය සතිය පුරා වසා දමා තිබූ පාසල් අද දිනයේ සිට සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

    ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමඟ ප්‍රවාහන ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බවයි රජය සඳහන් කරන්නේ. 

    මේ අතර 2021 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති , සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු පැවැත්වීම අද මධ්‍යම රාත්‍රි 12.00 සිට විභාගය අවසන් වන තෙක් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 

    මීට අමතරව එම විභාගයට අදාළව අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, ඒවා බෙදා හැරීම මෙන්ම විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝසටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම සහ එවැනි දේ ළඟ තබා ගැනීම ද තහනම් වනු ඇති.

    සාමාන්‍ය පෙළ විභාගය කිසිදු ලෙසකින් හෝ කල් නොදමන බව විභාග කොමසාරස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා අප කළ විමසුමකදී තහවුරු කළේ ය.

    ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගය ලබන 23 වැනි දා සිට ජුනි මස 01 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතයි. 

    Last modified on අඟහරුවාදා, 17 මැයි 2022 07:48

    Latest News