නව අගමැති යටතේ පාර්ලිමේන්තු අද රැස්වෙයි

මැයි 17, 2022

    නව අග්‍රාමාත්‍යවරයා ලෙස රාජකාරී ආරම්භ කිරීමෙන් පසු ප්‍රථම වරට පාර්ලිමේන්තුව අද (17) පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතයි. පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේ වෙනස්කම් කිහිපයක් ද ඒ අනූව සිදුකෙරේ.

    මෙතෙක් විපක්ෂයේ අසුන්ගෙන සිටි රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස අද දිනයේ දී අග්‍රාමාත්‍ය අසුනේ අසුන් ගැනීමට නියමිතයි. මේ අතර, නියෝජ්‍ය කථානායකවරයා ලෙස කටයුතු කළ රංජිත් සියඹලාපිටිය මහතා ඉල්ලා අස්වීමත් සමග එම තනතුර මේ වන විට පුරප්පාඩුව පවතියි.

    ඒ සඳහා නව නියෝජ්‍ය කථානායකවරයා ලෙස ආණ්ඩු පක්ෂයෙන් යෝජනා කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතායි.

    නමුත්, සමගි ජලබලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් කිහිපයක් නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මියගේ නම යෝජනා කර තිබේ.

    එම නිසා නව නියෝජ්‍ය කථානායක ධුරය සඳහා බොහෝ විට අද දිනයේ දී ඡන්ද විමසීමක් සිදු කිරීමට නියමිතයි. පාර්ලිමේන්තුවේ සභා නායකවරයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතත් මේ වන විට නම් කරනු ලැබ තිබේ.

    පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ තවත් ඡන්ද විමසීම් දෙකක් අද දිනයේ දී සිදු කිරීමට නියමිතව ඇති බවයි. ඒ ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කෙරෙන යෝජනාව සම්මත කර ගැනීම සඳහා ස්ථාවර නියෝග අත්හිටුවීමේ මෝසම සහ ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කරන යෝජනාව සම්බන්ධයෙන් වන ඡන්ද විමසීමයි.

    ආසන පැනවීමේ දී වෙනස්කම් කිහිපයක් සිදුවන අතර මින් පෙර අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතාට ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළ අසුනක් වෙන් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

    ඔහු හිටපු ජනාධිපතිවරයෙකු වීම හේතුවෙන් ඉදිරි පෙළ අසුනක් වෙක් කිරීම අනිවාර්ය වෙයි.

    හෙට පෙරවරු 8.30ට පක්ෂ නායකයින්ගේ රැස්වීමක් පැවැත්වෙන අතර, මෙම සියලු කාරණ සම්බන්ධයෙන් එහිදී සාකච්ජා කිරීමට නියමිතයි. එහි අවසන් එකඟතාවය අනූව අද දිනයේ පාර්ලිමේන්තුවේ කටයුතු සිදු කෙරෙන බවයි පාර්ලිමේන්තු මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.

    Latest News