අරලියගහ මන්දිරය ඉදිරිපස උද්ඝෝෂණ ස්ථානය ගැන අධිකරණ තීන්දුවක්

මැයි 04, 2022

    අරලියගහ මන්දිරයේ ඉදිරිපස පදිකවේදිකාව අවහිර වන පරිදි සිදුවන මහජන පීඩාවන් ඉවත් කරන ලෙස ලබාදී ඇති අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කළා.

    උද්ඝෝෂණකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා මෙම නියෝගය කළා.

    ඒ අනුව මේ සම්බන්ධයෙන් ලබන 09 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා මීට අදාළව නීතිපතිවරයා වෙත නොතිසි නිකුත් කරන ලෙස නියෝග කළා.

    උද්ඝෝෂණකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් අරලියගහ මන්දිරය අභියස සිදුවන මහජන පීඩාවක් සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කරුණු වාර්තාකර ඉකුත් දෙවැනි දා නියෝගයක් ලබා ගෙන ඇති බව දැන ගන්නට යයි සඳහන් කළා.

    මෙම නියෝගය මේ දක්වා උද්ඝෝෂණකරුවන්ට පොලිසිය විසින් කියවා දීමක් සිදු කර නොමැති බවත් එම නියෝගය තුළින් සාමකාමී උද්ඝෝෂණවලට බාධාවක් නොමැති බව සඳහන් කොට ඇති බවත් එම නීතිඥවරු පෙන්වා දුන්නා.

    එම නියෝගය ක්‍රියාත්මක නොකර සිටීමට පොලිසිය පියවර ගෙන ඇත්තේ මෙම ස්ථානයේ මහජන පීඩාවක් සිදු නොවීම හේතුවෙන් යැයි ද ඔවුන් සදහන් කළා.

    ඒ අනුව එම නියෝගය අත්හිටුවන ලෙසත් එම නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළා.

    Latest News