සාරා ජෙස්මින් සොයන්න සිරුරු ගොඩ ගැනේ

අප්‍රේ 26, 2022

    පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල කළ හස්තුන් නමැත්තාගේ බිරිඳ වන පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින්ගේ ඩී.එන්.ඒ හඳුනා ගැනීම සඳහා සිරුරු කොටස් ගොඩගැනීමට නියමිත බව වාර්තාවේ.

    හස්තුන් නමැත්තා කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ළ කළ අතර ඔහුගේ බිරිඳ වන සාරා ජෙස්මින් අම්පාර - සයින්දමුරුදු ප්‍රදේශයේ දී සිදු වූ පිපිරීමෙන් ජිවිතක්ෂයට පත්වූ බවට සැක කෙරේ. ඒ අනුව එම පිපිරීමෙන් මිය ගිය අයගේ සිරුරු කොටස් හෙට යළි ගොඩගැනීමට නියමිතව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව කියා සිටියි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව ඒ සදහා කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර හිමි වී ඇත.

    අම්පාර මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු කෙරෙන අතර, හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා, රජයේ රස පරීක්ෂකවරයා සහ විමර්ශන නිලධාරින් එම අවස්ථාවට එක්වීමට නියමිත යි.

    පාස්කු ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ සිදු කළ මෙහෙයුමක් අතරතුර 2019 වසරේ අප්‍රේල් 26 වන දා නිවසක් තුළ සිදුවූ මෙම පිපිරීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගිය බව ප්‍රකාශ කෙරුණ ද, සිරුරු කොටස් හමුවුණේ පුද්ගලයින් 16 දෙනෙකුගේ පමණයි.

    එසේම, සාරා නමැත්තිය ඉන්දියාවට පලාගිය බවට ද තොරතුරු වාර්තා වූ අතර, සැබවින්ම එම සැකකාරිය ද පිපිරීමෙන් මියගියේ ද නැද්ද යන්න මෙම පරීක්ෂණය හරහා තහවුරු කර ගැනීමට හැකි වනු ඇති.

    Latest News