දූෂණ චෝදනාවලට හා නඩු කටයුතුවලට මුහුණ දී සිටින හිටපු අමාත්‍යවරුන්ගේ විදේශ ගමන් තහනම් කරන්නැයි ඉල්ලීමක්

අප්‍රේ 26, 2022

    දූෂණ චෝදනා සහ නඩුවලට මුහුණ දී සිටින හිටපු අමාත්‍යවරු ඇතුළු දේශපාලකයින් රටින් පළා යාමට සූදානමක් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇති හෙයින් ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝග ලබා ගැනීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් වුණා.

    නීතිඥවරු පිරිසක් විසින් අද පෙරවරුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ දී නීතිපතිවරයා හමුවී මෙම ඉල්ලීම ඉදිරිපත් කළ බව නීතිඥ සුනිල් වටගල මහතා ප්‍රකාශ කළා.

    නීතිඥ සුනිල් වටගල මහතා පවසන්නේ දූෂණ චෝදනාවලට හා මහාධිකරණය හමුවේ අධි චෝදනාවලට භාජනය වී සිටින හිටපු අමාත්‍යවරුන් ඇතුළු දේශපාලකයින් වර්තමානයේ රට තුළ උද්ගතවී තිබෙන අස්ථාවර දේශපාලන වාතාවරනය හමුවේ රටින් පළා යාමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී තිබෙන බවයි.

    එසේ ඔවුන් පලා ගියහොත් එම නඩු කටයුතු පත්වාගෙන යාමට බාධාවක් සිදු වන බවත් එසේ වුවහොත් ඔවුන් විසින් අවභාවිතාවට ලක් කළ රාජ්‍ය මුදල් හා රාජ්‍ය දේපළ යළි අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියට දැඩි අගතියක් සිදුවන බවත් නීතිඥ වටගල මහතා පෙන්වා දුන්නා.

    එබැවින් දූෂණ චෝදනා සහ නඩු කටයුතුවලට මුහුණ දී සිටින හිටපු අමාත්‍යවරු ඇතුළු දේශපාලකයින් විදේශගත වීම වැළැක්වීම සඳහා වහා විදේශ ගමන් තහනම් කිරීමේ නියෝග ලබා ගන්නා ලෙස නීතිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ බවද ඔහු සඳහන් කර සිටියා.

    නීතිඥ ප්‍රජාව විසින් ඉදිරිපත් කළ ඉල්ලීමට නීතිපතිවරයාගෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබුණු බව ද නීතිඥ සුනිල් වටගල මහතා වැඩිදුරටත් සඳහන් කළා.

    Latest News