ප්‍රධාන ජලාශවල ජල මට්ටම 66% දක්වා ඉහළට

අප්‍රේ 11, 2022

    ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රධාන ජලාශවල ජල මට්ටම සියයට 66 දක්වා ඉහළ ගොස් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව දිස්ත්‍රික්ක කිහිපයක ජලාශවල වාන් දොරටු විවෘත කිරීමට ද පියවර ගෙන ඇත.

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගණය ජලාශය ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන ඇත. රාජාංගණය ජලාශයේ වාන් දොරටු 6ක් අඩි 4 බැගින් විවෘත කර තිබෙන බවද ඒ ආසන්නයේ පිහිටි අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් අඩියක් බැගින් විවෘත කර තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා පවසයි.

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 5ක් අඩි තුන බැඟින් විවෘත කර තිබේ. මඩකළපුව දිස්ත්‍රික්කයේ උන්හිච්චි ජලාශයේ වාන් දොරටුවක් අඩියක ප්‍රමාණයකින් විවෘත කර ඇත.

    මවුස්සාකැලේ සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට කඩින් කඩ තද වැසි ලැබෙමින් පවතින අතර මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශය වන මස්කෙලිය, ශ්‍රී පාද නල්ලතන්න, අප්කට්, සාමිමලේ යන ප්‍රදේශවලට පෙරේදා (9) රාත්‍රියේ සිට වැසි ලැබෙමින් පවතී.

    Latest News