කැලණි,කළු, ගිං සහ නිල්වලා ගංඟාවල ජල මට්ටම ඉහළට

ජූලි 10, 2021

    වර්ෂාවත් සමග කැලණි ගඟ, කළු ගඟ, ගිං ගඟ සහ නිල්වලා ගඟේ ජලමට්ටම ඉහළ ගොස් ඇත. ප්‍රදේශ කිහිපයකින් එම ගංඟාවල පිටාර මට්ටමක් වාර්තා වන බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    මේ හේතුවෙන් ගංඟා දෙපස පහත්බිම්වල වෙසෙන ජනතාව ගංවතුර තත්ත්වය පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිවේදනය කරයි.

    මේ වන විට කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ප්‍රදේශවලට මි.මී 150කට අධික වර්ෂාපතනයක් ලැබී තිබේ. 

    එම නිසා ඉදිරි පැය 24 තුළ දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවත, දොම්පේ, කඩුවෙල, බියගම, කොළොන්නාව සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 

    එමෙන්ම ගිං ගඟේ ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවලට ද මි.මී 150කට අධික වර්ෂාපතනයක් ලැබී ඇත.

    මේ හේතුවෙන්, ඉදිරි පැය 24 තුළ වැලිවිටිය – දිවිතුර, බද්දේගම, කොටපොළ, නියාගම, නෙළුව, තවලම, අක්මීමන, නාගොඩ, ඇල්පිටිය සහ බෝපේ පෝද්දල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගිං ගඟේ පහත්බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකියි.

    Latest News