දිවයිනේ ප්‍රදේශ රැසකින් නැගුණු ජනතා විරෝධය

අප්‍රේ 05, 2022

    දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව විරෝධතාවල නිරත ව සිටියි. ඒ ඉහළ යන ජීවන වියදමට එරෙහිව හා දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලමින්.

    ඊයේ රාත්‍රී 7.00ට පමණ හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ නිවස ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණ. විරෝධතාවයේ යෙදුනු පිරිස ඔහුගේ නිවසට ගල්මුල් ප්‍රහාරයක් ද එල්ල කර තිබේ.

    හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ නිවසට ද ඊයේ ගල් ප්‍රහාර එල්ල කර තිබේ. පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයා හා නිලධාරීන් කිහිපදෙනෙකු ද තුවාල ලැබීය.

    කලාකරුවන් පිරිසක් සංවිධාන කළ විරෝධතාවක් ඊයේ පැවැත්වුණේ, රාජගිරිය ගුවන් පාලම අසළදී. රටේ වත්මන් ගැටලුවලට වහා විසඳුම් ලබා දෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටියේ.

    තරුණයන් පිරිසක් බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී ද ඊයේ රාත්‍රී විරෝධතාවේ නිරත විය. විරෝධතා පුවරු රැගෙන එම පිරිස සාමකාමීව විරෝධතාවේ යෙදී සිටියේය.

    ඉදි කෙරෙමින් පවතින හංවැල්ල බස් නැවතුම්පොළ උද්ඝෝෂකයන් පිරිසක් ඊයේ විවෘත කර තිබේ. ඒ එහි පුවරු කඩා බැඳ දමමින්. ගොඩනැගිල්ල විවෘත කිරීමට නියමිතව තිබුණේ අප්‍රේල් 8 වැනිදායි.

    කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බහිරවකන්ද පිහිටි නිවසට ද ඊයේ ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

    Latest News