ලංගම හිටපු සභාපතිගේ සැක ගනුදෙනුවක් ඇමැති අත්හිටුවයි

මාර් 04, 2019

    ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ හිටපු සභාපති රමල් සිරිවර්ධන මහතාගේ මැදිහත්වීමෙන් කිරීමට ගිය අයථා රක්ෂණ ගනුදෙනුවක් නිවැරදි කිරීමට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    ඒ ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් අනුව බවයි අමාත්‍යංශය පවසන්නේ. එම ගනුදෙනුව නිවැරදි කිරීමෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට රුපියල් මිලියන 2ක් ඉතිරි වූ බවද ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය අවධාරණය කරයි.

    ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථ ඇණිය, රියදුරන්, කොන්දස්තරවරුන් සහ තුන්වැනි පාර්ශ්වය රක්ෂණය කිරීමට සඳහා සුදුසු රක්ෂණ සමාගම්වලින් මිල ගණන් කැඳවූයේ හිටපු සභාපතිවරයාගේ සමයේයි. ඊට ප්‍රතිචාර දක්වමින් රක්ෂණ සමාගම් තුනක් මිල ගණන් ඉදිරිපත් කෙරිණ. එම මිල ගණන් විමසා බැලූ තාක්ෂණික කමිටුව රක්ෂණය පිරිනැමීම සඳහා නිර්දේශ කර තිබුණේ අඩුම ලංසුව ඉදිරිපත් කළ රක්ෂණ භාරකාර අරමුදලයි. එම ආයතනය ඉදිරිපත් කළ ලංසුවේ වටිනාකම රුපියල් මිලියන 20ක් විය. කෙසේ නමුත් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ හිටපු සභාපති රමල් සිරිවර්ධන මහතා සභාපතිත්වය දැරූ ප්‍රසම්පාදන කමිටුව එකී තාක්ෂණික කමිටුවේ නිර්දේශය තිබියදීත් රක්ෂණ භාරකාර අරමුදල වඩා වැඩි ලංසුවක් ඉදිරිපත් කළ වෙනත් රක්ෂණ සමාගමකට එකී රක්ෂණය ලබා දීමට කටයුතු කරමින් සිට බව අමාත්‍යංශය පවසයි. ඒ පිළිබඳ ලැබුණු පැමිණිල්ලක් අනුව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අමාත්‍යාංශ ලේකම් එල්. පී. ජයම්පති මහතාට දුන් උපදෙස් වි ඇත්තේ එම සැකසහිත අයථා ගනුදෙනුව පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසයි. ඒ අනුව සියලු පාර්ශ්ව සමඟ කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙසට එම රක්ෂණය නැවතවරක් රක්ෂණ භාරකාර අරමුදලටම ලබා දීමට තීරණය කෙරිණ. එහි විශේෂත්වය වන්නේ රක්ෂණ භාරකාර අරමුදල තමන් මුලින් ඉදිරිපත් කළ ලංසුවට වඩා තවත් මිලියන 2ක් අඩුවෙන් රුපියල් මිලියන 18කට එම රක්ෂණය ලබා ගැනීමට කටයුතු කිරීමයි.

    රක්ෂණ භාරකාර අරමුදල රජයට අයත් ආයතනයකි. එම ආයතනය මූලික රක්ෂණයට අමතරව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට තවත් ප්‍රතිලාභ රැසක් අතිරේක මුදලක් අය නොකරම ලබාදීමට තීරණය කර තිබේ. එනම් සියලුම ලංගම බස්රථ රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට රුපියල් මිලියනක් වටිනා ජීවිත රක්ෂණයක් පිරිනැමීම, මගීන්ට අනතුරක් දී අධිකරණය තීරණය කරන වන්දි මුදල සම්පූර්ණයෙන්ම ගෙවීම ඒ අතරවේ. ප්‍රතිලාභ රැසක් සමඟින් අඩු ලංසුවක් ඉදිරිපත් කළ ආයතනයකට රක්ෂණය නොදී වැඩි ලංසුවක් දුන් සමාගමකට රක්ෂණය පිරිනැමීම ගැන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති රමල් සිරිවර්ධන මහතා සභාපති ධුරය දැරූ ප්‍රසම්පාදන කමිටුවේ ක්‍රියාව පිළිබඳව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් විශේෂ පරීක්ෂණයක්ද ආරම්භ කර තිබේ.

    Last modified on සදුදා, 04 මාර්තු 2019 20:04

    Latest News