මෙරට විශාලතම අපනයන සැකසුම් කලාපයේ ඉදිකිරීම් ඇරඹේ (වීඩියෝ)

මාර් 04, 2019

    මෙරට විශාලතම අපනයන සැකසුම් කලාපයේ ඉදිකිරීම් අද ආරම්භ කෙරිණ.

    ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. කුරුණෑගල බිංගිරිය ප්‍රදේශය කේන්ද්‍ර කරගත් මෙය, වසර 15කට පසු මෙරට ඉඳිවන ප්‍රථම අපනයන සැකසුම් කලාපයයි. ව්‍යාපෘතිය අදියර තුනකින් ක්‍රියාත්මකයි. පළමු අදියරේ දී ජර්මන්වත්ත නම් අක්කර 164ක භූමියක කර්මාන්තශාලා 25ක් ස්ථාපනය කෙරෙනු ඇත.

    අක්කර 282ක දෙවැනි අදියර ක්‍රියාත්මක කෙරෙන්නේ, ගොරකගස්ආර ප්‍රදේශයේ. කලාපය සතු සමස්ත භූමි ප්‍රමාණය අක්කර 1,200ක්. ඉන් සෘජු රැකියා 75,000ක් ලබාදීමට නියමිතයි. බර සහ සැහැල්ලු ඉංජිනේරු කර්මාන්ත, තොරතුරු තාක්‍ෂණය හා ඒ ආශ්‍රිත කර්මාන්ත, වාහන අමතර කොටස් නිෂ්පාදනය හා එකලස් කිරීමේ මෙන්ම, ඇඟලුම් හා ආහාර නිෂ්පාදන කර්මාන්ත ඒ අතර වනවා. උත්සවය ඇමතූ අග්‍රාමාත්‍යතුමා මෙහිදී කියා සිටියේ, ඉදිරි වසර 4 තුළ මෙරට අපනයන ආදායම දෙගුණයකින් ඉහළ දමන බවයි.

    මෙහිදී අදහස් පළ කළ අග්‍රාමාත්‍යවරයා...
    “අපි 2015 ආණ්ඩුව ඇති කරලා මම මලික් සමරවික්‍රම ඇමතිතුමාගෙන් ඇහුවහම වෙළෙඳ කාලපයක් ආරම්භ කරමුද කියලා කිව්වා තියෙන ඒවා හිස් කියලා. අක්කර 600ක් තිබුණා හිස් වෙළෙඳ කලාප 14ක. ඉතිං අලුතින් පටන් ගන්න වැඩක් නැහැනේ. පහසුකම් තිබුණා මම එතුමාට කිව්වා ඉස්සෙල්ලා මේක පුරවන්න කියලා. අද පටන් ගන්න මේ වෙළෙඳ කලාපය අක්කර 1200කින් තමයි අවසන් කරන්නේ කියලා මම කියනවා. අදියර තුනක් තියෙනවා. ඒක ලංකාවේ විශාලතම එක වෙන්නේ නැහැ. අපි අක්කර හාර දහසක් මනිනවා, බලනවා ත්‍රිකුණාමලයේ. අක්කර පන්දාහක් වෙන් කරලා තියෙනවා හම්බන්තොට තව දහ දාහක් තියෙනවා මොනරාගල. අක්කර දාහක් තියෙනවා කලුතර. අක්කර සියයක් තියෙනවා මාවතගම. අක්කර 600ක් පරීක්ෂා කරනවා කුලියාපිටියේ. මේක පටන් ගත්ත විතරයි. මේ වැඩකටයුතු කරලා ඒක පුරවන්න ඕනේ කර්මාන්ත ගේන්නයි අපේ ප්‍රතිපත්තිය වෙන්න ඕනේ.

    මගෙන් අහනවා ඇයි මේක 2015 කළේ නැත්තේ කියලා. 2015 කොහොමද අපි ආණ්ඩු ගත්තේ. ඉන්න ආණ්ඩුවට ණය අරගෙන, ණය අරගෙන ණය ගෙවන්න බැරි තැන තමයි ඡන්දයක් තිබ්බේ. අපි ඒක බාරගත්තා. මම මේ රටේ ජනතාවට ස්තුති වන්ත වෙනවා. අනුන්ගේ පව් ගෙවන්න අපි වින්ද දුක. දැන් තමයි දෙවන වටය අපි පටන් ගන්න ඉන්නේ අපේ ආර්ථික සංවර්ධනය. අපනයන ආදායම අපි දෙගුණයකින් වැඩි කරන්න ඕනේ. මම බලාපොරොත්තු වෙනවා අවුරුද්ද අවසාන වෙන්න ඉස්සෙල්ලා අඩුගානේ එක කර්මාන්ත ශාලාවක් මේ ස්ථානයේ තියෙයි කියලා.

    අමාරුවෙන් බැනුම් අහලා අපේ මේ කටයුත්ත කළේ. දැන් ප්‍රතිඵල එනවා. ගිය සිකුරාදා පාසල් ගොඩනැගිලි 200ක් විවෘත කළා. 17 වැනිදා පාරවල් 200ක් විතර විවෘත කළා. නිකම් බෙරගහන මිනිස්සු නොවෙයි අපි. වැඩකරලා පෙන්වන්නම්. ඊළඟ මාස කිහිපයේදී පෙන්වනවා. මොකක්ද අපි නිශ්ශබ්දව කළේ කියලා. එක්සත් ජාතික පක්ෂය මහවැලිය කළා නම්, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අගනුවර කළා නම්, ගම්උදාව කළානම්, මේ අභියෝගත් අපි බාරගන්නවා. ටිකත් හිතන්න ඔක්තෝබර් 26 වැනිදා අපි ගියානම් මේක තියෙනවද අද“. යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

    නව අපනයන සැකසුම් කලාපයේ ආයෝජන සඳහා ආයෝජකයන් 13 දෙනෙකු දැනට කැමැත්ත පළ කර තිබේ.ඒ සඳහා වන ලියකියවිල් හුවමාරුව ද අද සිදු කෙරිණ. අපනයන සැකසුම් කලාපය ඉදිකිරීමේ දී ඉවත් කෙරෙන සෑම පොල් ගසකටම, පොල්ගස් 5ක් සිටුවීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මකයි. එය සංකේවත් කරමින්, පොල් පැල තුන් දහසක් බෙදාදීම ද අද සිදු කෙරිණ. ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 25ක් සඳහා නව නිවාස ලබාදීම ද මීට සමගාමීව සිදු කෙරිණ. ජනතා නියෝජිතයන් රැසක් ද මේ අවස්ථාවට එක්වූහ.

     

    Last modified on සදුදා, 04 මාර්තු 2019 20:44

    Latest News