අගමැති සිය ධුරයේ රාජකාරී අරඹයි

අගෝ 11, 2020

    ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස අභිනවයෙන් පත්කෙරුණු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී ධුරයේ වැඩ භාරගත්තේය.

    අරලියගහ මන්දිරයේ බෝධීන් වහන්සේ අබියස ආගමික වතාවත්වල යෙදීමෙන් පසුව මන්දිරයේ ප්‍රධාන ශාලාවේ දී ජයපිරිත් සජ්ජායනා මධ්‍යයේ අග්‍රාමාත්‍යවරයා වැඩ භාරගැනීම සිදුවිය. විද්‍යෝදය පරිවේණාධිපති ගාලු බස්නාහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බලංගොඩ සෝභිත නායක ස්වාමීන් වහන්සේ පැමිණ පිරිස් පංචශීලයේ පිහිටුවීමෙන් අනතුරුව ඉස්ලාමීය හා කතෝලික ආගමික වතාවත් ද පැවැත්විණ. මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජනවරමක් හිමිකරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙවර මහ මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කර මනාප 527364ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරීපත්වූයේ මෙවර ඉතිහාසයේ වැඩිම මනාප සංඛ්‍යාවක් ලැබූ අපේක්ෂකයා ලෙස වාර්තාවකට හිමිකම් කියමින්. 1970 වර්ෂයේ ලාබාලතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ මහින්ද රාජපක්ෂ මහතා දෙවරක් ජනාධිපති ධුරයත් තෙවරක් අග්‍රාමාත්‍ය ධුරයත් හොබවා තිබේ. මහින්ද රාජපක්ෂ මහතාගේ පනස් වසරක දේශපාලන කාලය තුළ මහ මැතිවරණ නවයකටත්, ජනාධිපතිවරණ තුනකටත් ඉදිරිපත්ව තිබේ.

    1994 වසරේ පළමුවරට කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස පත්වූ මහින්ද රාජපක්ෂ මහතා 2004 වසරේ පළමුවරට අග්‍රාමාත්‍යධුරයට පත්විය. 2005 වසරේ ජනාධිපතිධුරයට පත් ඒ මහතා නැවත 2010 වසරේ ජනාධිපතිධුරයට පත්විය.

    මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් 9 වැනිදා කැලණි විහාර භූමියේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ හතරවැනි වරටත් අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන්නේය.

    Last modified on අඟහරුවාදා, 11 අගෝස්තු 2020 14:13

    Latest News