ගෑස් සිලින්ඩරයක් පුපුරා කාන්තාවක් මියයාමේ සිද්ධියක් පිළිබඳව පෙත්සමක්

මාර් 10, 2022

    අනතුරුදායක ගෘහස්ථ එල් පී ගෑස් සිලින්ඩර අලෙවි කර කාන්තාවක් මිය යාමට සැලැස්වීම සම්බන්ධයෙන් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති, අධ්‍යක්ෂ මණ්ඩලය, පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා ඇතුළු බලධාරීන්ට එරෙහිව සාවද්‍ය නොවන මිනීමැරුම සම්බන්ධයෙන් අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට පියවර ගන්නා ලෙස පොලිස්පති වරයා සහ නීතිපතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබා දුන්නා.

    ඒ අනුව අදාළ පෙත්සම සම්බන්ධයෙන් අප්‍රේල් මස 8 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි ලිට්‍රෝ ගෑස් සමාගම, එහි සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින්, පොලිස්පතිවරයා හා නීතිපතිවරයා යන පාර්ශ්ව වෙත විනිසුරු මඩුල්ල විසින් නොතීසි ද නිකුත් කරනු ලැබුවා.

    ලෆාර් තාහීර් සහ එස්.යූ.බී.කරලියද්ද යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කරනු ලැබුවා.

    කුණ්ඩසාලේ, නත්තරම්පොත ප්‍රදේශයේ පදිංචි මිය ගිය අශෝකා ප්‍රියංගනී නැමැති කාන්තාවගේ සැමියා වන ආර් ඩී එස් ශාන්ත කුමාර සිරිමාන්න සහ ඔහුගේ දරුවන් සිව්දෙනා විසින් මෙම පෙත්සම් ගොනු කර තිබෙනවා.

    පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් දෙසැම්බර් මස 01 වන දා තම බිරිඳ ආහාර පිසීම සඳහා ගෑස් උදුන ක්‍රියාත්මක කළ අවස්ථාවේදී විශාල පිපිරීමක් සමඟ ගින්නක් හටගත් බවයි.

    ඉන් අනතුරුව බරපතළ පිළිස්සීමකට ලක් වූ ඇය මහනුවර රෝහලට ඇතුළත් කෙරුණු අතර දෙසැම්බර් මස 11 වන දා ඇය මියගිය බවත් පෙත්සම්කරු චෝදනා කළා.

    පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සාමාන්‍යයෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක බියුටේන් සියයට 70 ක් සහ ප්‍රොපේන් සියයට 30 ක් අන්තර්ගත විය යුතු බව සඳහන් කළා.

    එහෙත් වගඋත්තරකාර ගෑස් සමාගම මිල අධික බියුටේන් ප්‍රතිශතය 50% ක් දක්වා අඩුකොට සියයට 30 ක්ව තිබු ප්‍රොපේන් ප්‍රතිශතය 50% ක් දක්වා වැඩි කොට ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළ වෙත මුදාහැරීමට පියවර ගත් බවත් ඔහු පැවසුවා.

    මෙවැනි ගෘහස්ථ ගෑස් සිලින්ඩරවලින් පිපිරීම් වැනි අනතුරුදායක සිදුවීම් මතුවිය හැකි බවට පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා විසින් කලකට ඉහතදී ලිඛිතව විෂයභාර අමාත්‍ය වරු, ප්‍රමිති ආයතනය, පාරිභෝගික සේවා අධිකාරිය සභාපතිවරයා ඇතුළු පිරිස් දැනුවත් කර තිබූ බවත් ඔහු සඳහන් කළා.

    එසේ තිබියදී වගඋත්තරකාර ගෑස් සමාගම ප්‍රමිතියෙන් බාල අනතුරුදායක ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළඳපොළට මුදා හැරීම හේතුවෙන් රට පුරා විවිධ අනතුරුදායක තත්ත්වයන් වාර්තා වූ බවත් ජනාධිපති නීතිඥ රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා ඇතුළු බලධාරීන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතන චෝදනා සම්බන්ධයෙන්
    නඩු පවරන ලෙස නීතිපතිවරයාට හා පොලිස්පතිවරයා වෙත රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන බවත් ජනාධිපති නීතිඥ රාජපක්ෂ මහතා සඳහන් කර සිටියා.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල විසින් අනතුරුව පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙමින් වගඋත්තරකරුවන් වෙත නොතිසි නිකුත් කිරීමට නියෝග කළා.

    Latest News