අභිනව තානාපතිනිය විදේශ කටයුතු ඇමති හමුවෙයි

මාර් 10, 2022

    ශ්‍රී ලංකාව සඳහා අභිනවයෙන් පත්වූ එක්සත් ජනපද තානාපති ජුලී චුන්ග් මහත්මිය, ඊයේ (9) කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා හමු වූවා ය.

    තානාපතිනිය උණුසුම් ලෙස පිළිගත් අමාත්‍ය පීරිස් මහතා, එතුමිය ශ්‍රී ලංකාවේ සේවය කරන කාලය තුළ එතුමිය සමඟ සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකාව, එක්සත් ජනපදය වැදගත් හවුල්කරුවෙකු ලෙස සලකන බව සඳහන් කළ අමාත්‍ය පීරිස් මහතා, දෙරට අතර පවත්නා දිගුකාලීන සබඳතා වඩාත් ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා බයිඩ්න් පරිපාලනය සමඟ සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය කැමැත්තෙන් පසුවන බව යළි අවධාරණය කළේ ය.

    එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් දේශපාලන සහ ආර්ථික හවුල්කාරිත්වයක් ප්‍රවර්ධනය කිරීම සඳහා කැපවී සිටින බව, තානාපති චුන්ග් මහත්මිය තහවුරු කළා ය.

    ශ්‍රී ලංකාව සමඟ පවත්නා සබඳතා ගැඹුරු කිරීමටත්, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා ඵලදායී හවුල්කරුවෙකු බවට පත් වීමටත් එක්සත් ජනපදය අපේක්ෂා කරන බව එතුමිය ප්‍රකාශ කළා ය.

    විදේශ අමාත්‍ය පීරිස් මහතා සහ තානාපති චුන්ග් මහත්මිය, දෙරට අතර පවත්නා බහුවිධ ද්විපාර්ශ්වික සහයෝගීතාව සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡා පැවැත්වූ අතර, ගෝලීය වශයෙන් වැදගත් වන සමකාලීන ගැටළු සම්බන්ධයෙන් සිය අදහස් හුවමාරු කර ගත්හ.

    ශ්‍රී ලංකා රජය ප්‍රතිසන්ධානය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ද අමාත්‍ය පීරිස් මහතා එක්සත් ජනපදයේ තානාපතිනිය දැනුම්වත් කළේ ය. ශ්‍රී ලංකා - එක්සත් ජනපද හවුල්කාරිත්ව සංවාදයේ 4 වැනි සැසිවාරය මෙම මස අවසානයේ කැඳවීමට සූදානම් වීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම සිය ප්‍රසාදය පළ කළහ.

    විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ කොළඹ පිහිටි අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම හමුවට සහභාගී වූහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 10 මාර්තු 2022 12:02

    Latest News