සූර්ය කෝෂ භාවිතා කිරීමට පනවා ඇති සීමාවන් ඉවත් කරන ලෙස ඉල්ලා පෙත්සමක්

මාර් 10, 2022

    බලශක්තිය ප්‍රභවයක් ලෙස සූර්ය බලශක්තිය භාවිත කිරීමට පවතින බාධා හා සීමාවන් ඉවත් කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා මැයි මස 12 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

    ගාමිණී අමරසේකර සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවා.

    මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස විදුලිබල අමාත්‍යවරයා, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, මහජන උපයෝගීතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශව කීපයක් නම් කර තිබුණා.

    පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ තමන් පෙනී සිටින්නේ කවර වගඋත්තරකරුවන් වෙනුවෙන් ද යන්න මීළඟ නඩු දිනයේ දැනුම් දෙන බවයි.

    විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය සහ එහි සාමාජිකයන් පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ පුනර්ජනනීය බල ශක්තියක් වශයෙන් නිවෙස්වල වහලවල් මත සවි කරනු ලබන සූර්ය කෝෂ භාවිතා කිරීමට හැකියාව පවතින බවයි.

    එහෙත් ලංකා විදුලිබල මණ්ඩලය වෙතින් එල්ලවන බාධා කිරීම් හේතුවෙන් බලශක්ති ප්‍රභවයක් ලෙස සූර්ය කෝෂ නිදහසේ භාවිතා කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් වත්මන් විදුලි අර්බුදය මතු වීමට මෙය හේතුවක් බවත් චෝදනා කරනවා.

    මේ හේතුවෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සම්කරුවන් සඳහන් කළා.

    එබැවින් සූර්ය කෝෂ භාවිතා කිරිම සඳහා පාරිභෝගිකයින් විසින් ඉදිරිපත් කරනු ලබන අයදුම්පත්‍ර භාර ගෙන ඒවා සම්බන්ධයෙන් බාධා කිරීම්වලින් තොරව අවසර ලබාදීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

    Latest News