ගෑස් අනතුරු ගැන පරීක්ෂණයක් ඉල්ලා පෙත්සමක්

දෙසැ 08, 2021

    නිසි ප්‍රමිතියකින් තොර ගෑස් මෙරටට ගෙන්වීම හේතුවෙන් ඇති වූ අනතුරුදායක සිද්ධීන් සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන හා ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන්ට සහ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති, ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් යන අයට එරෙහිව අපරාධ නීතිය යටතේ විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් වුණා.

    සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළා.

    පෙත්සම්කරු කියා සිටින්නේ නිසි ප්‍රමිතියකින් තොර එල්පී ගෑස් ආනයනය කර බෙදාහැරීම හේතුවෙන් අනතුරුදායක සිදුවීම් ගණනාවක් මේ වන විට දිවයිනේ සියලු ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවයි.

    මේ හේතුවෙන් දැනට වෙළෙඳපොළ වෙත මුදාහැර ඇති ගෑස් සිලින්ඩර ආපසු කැඳවන ලෙස ලිට්රෝ හා ලාෆ් ගෑස් සමාගම වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

    විධිමත් පරීක්ෂණයක් පවත්වා ආරක්ෂාව තහවුරු කරන තුරු වෙළඳපොළට ගෑස් සිලින්ඩර මුදාහැරීම වැළැක්වීමේ නියෝගයක් අදාළ සමාගම් වෙත නිකුත් කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබුණා.

    මේ පිළිබඳව විධිමත් පරීක්ෂණ පවත්වා පිපිරීම් හේතුවෙන් අගතියට පත් පවුල් වලට වන්දි ගෙවන නියෝගයක් නිකුත් කර ලෙසද පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

    මෙම රිට් පෙත්සම හෙට දින සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීමට නියමිතව තිබෙනවා.

    Latest News