උඩුවේ හිමි අලි නඩුවෙන් බෙරේ

මාර් 01, 2019

    බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු තබා ගැනිමේ චෝදනාවෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ව අද නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

    කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණ.

    විත්තිකාර ස්වාමීන් වහන්සේට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබෙන චෝදනා ප්‍රමාණවත් ලෙස ඔප්පු වී නොමැති බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු විජයරත්න මහතා කියා සිටියේය.

    මෙම අලි පැටවා විත්තිකාර ස්වාමීන්වහන්සේ භාරයේ සිටි බවට පැමිණිල්ල විසින් යම් යම් සාක්කි ඉදිරිපත් කලත් ඒවා උන්වහන්සේගේ භාරයේ පැවති බව ඔප්පු කිරීමට ප්‍රමාණවත් නොවන බව ඔහු කියා සිටියේය. මෙම නඩුවට අදාළව අමාත්‍යවරයෙකුව සිටි වසන්ත සේනානායක සාක්ෂිකරුවෙකු ලෙස ලබාදුන් සාක්ෂි ද පිළිගත නොහැකි මට්ටමක පවතින බව විනිසුරුවරයා පෙන්වා දුනී. ඒ අනුව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බැවින් උන්වහන්සේ නිදොස් කොට නිදහස් කරන බව විනිසුරුවරයා සිය තීන්දුවෙන් සඳහන් කර සිටියේය.

    මෙම තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දිනී.

    2015 වසරේ ජනවාරි මස 28 වනදා හෝ ඊට ආසන්න දිනයක කිරුලපන ඇලන්මැතිනියාරාම විහාරස්ථානය තුළ බලපත්‍රයක් නොමැතිව අලිපැටවකු සන්තකයේ තබාගැනීම තුළින් වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත මෙන්ම පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.

    Latest News