බලපත්‍ර නොමැති බව සඳහන් අලි දෙදෙනෙකු මුදාහරිණ ලෙස නියෝග

පෙබ 24, 2022

    බලපත්‍ර නොමති බව පවසමින් අත්අඩංගුවට ගෙන වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටී අලි පැටවුන් දෙදෙනෙකු ඔවුන්ගේ හිමිකරුවන් වෙත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

    අදාල අලි දෙදෙනාගේ හිමිකරුවන් වන අනූෂා විජයන්ති පෙරේරා සහ ප්‍රදීප් සංජය මීවලපලාන යන අය විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා මෙම නියෝගය කළා.

    බලපත්‍ර නොමැති බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් "දෙව්මිණි" සහ "වස්තු" යන අලි පැටවුන් දෙදෙනා 2016 වසරේ මාර්තු මස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තැබීමට නියෝග කර තිබුණා.

    එහෙත් එම අලි දෙදෙනා මුදාහරිණ ලෙස ඔවුන්ගේ හිමිකරුවන් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉල්ලීම් ඉදිරිපත් කළ ද එම ඉල්ලීම් මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබුණා.

    එම නියෝගය අවලංගු කොට තම අලි පැටවුන් දෙදෙනා මුදාහරිණ ලෙස ඉල්ලමින් අදාල හිමිකරුවන් දෙදෙනා විසින් කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළා.

    එම ප්‍රතිශෝධන පෙත්සම විභාග කොට තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා මෙම අලි දෙදෙනාගේ හිමිකරුවන් සම්බන්ධයෙන් අපරාධමය චෝදනාවක් ඉදිරිපත් වී නොමැති බව පැවසුවා.

    ඉදිරියේදී එවැනි අපරාධමය චෝදනාවක් ඉදිරිපත් කිරීමේ අවදානමක් ද නොමැති බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරයා එම අලි දෙදෙනා මුදාහැරීම වලක්වමින් ඉහළ අධිකරණයෙන් මේ වනවිට නියෝගයක් නිකුත් කර නොමැති බවත් සඳහන් කළා.

    ඒ අනුව එම අලි දෙදෙනා මුදාහැරීම සම්බන්ධයෙන් තම අධිකරණයට බාධාවක් නොමැති බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා ඒ අනුව වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ සිටින එම අලි දෙදෙනා මුදාහරිණ ලෙස නියෝග කළා.

    Latest News