බලපත්‍ර නොමැති අලි ඇතුන් මුදාහරිණ ලෙස කරන ඉල්ලීමට අදාළ නියෝගය දෙසැම්බර් 3 වැනිදා

ඔක් 22, 2021

    බලපත්‍ර නොමැති වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින අලි ඇතුන් පස් දෙනෙකු සහ ඔවුන්ගේ හිමිකරුවන් නඩු කටයුතු වලින් මුදා හරින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලැබූ ඉල්ලීම පිළිබඳ නියෝගය දෙසැම්බර් මස 03 වන දා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

    මෙම නඩු කටයුත්ත අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික. සී. රාගල මහතා ඉදිරියේ කැදවනු ලැබුවා.

    එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් නීති විරෝධී ලෙස අලි ඇතුන් තබාගෙන සිටි බවට සැකපිට අධිකරණයට ඉදිරිපත් කර සිටින අලි හිමිකරුවන් පස් දෙනකුට එරෙහිව නීතිමය පිරිවර ගැනීමට ප්‍රමාණවත් පදනමක් නොමැති බවට නීතිපතිවරයා වාර්තා කර ඇතැයි දන්වා සිටියා.

    එබැවින් එම සැකකරුවන් නඩූ කටයුතුවලින් මුදාහරින ලෙස ඉල්ලා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නඩු භාණ්ඩ වශයෙන් රඳවාගෙන සිටින අලි ඇතුන් පස් දෙනකු ද එම හිමිකරුවන් වෙත මුදා හරින නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීම් කළා.

    එම අවස්ථාවේදී පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් බලපත්‍ර නොමැති වීම හේතුවෙන් අත්අඩංගුවට ගත් අලි ඇතුන් ඒවායේ භාරකරුවන්ට මුදා හැරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නා.

    එම අලි ඇතුන් භාරදිය යුත්තේ රජයට බවයි නීතිඥවරයා තර සිටියේ.

    මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම සැකකරුවන් හා අලි ඇතුන් මුදාහරින ලෙස ඉල්ලා සිටින්නේ ඇයි දැයි විමසුවා.

    ඊට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කළේ මෙම සැකකරුවන්ට එරෙහිව නඩුවක් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් පදනමක් නොමැති බව නීතිපතිවරයා විසින් උපදෙස් දී ඇති හෙයින් එම ඉල්ලීම කරන බවයි.

    නඩුවක් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කරුණු නොමැතිනම් මෙම අලි ඇතුන් සහ අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ ඇයිදැයි මහේස්ත්‍රාත්වරයා වරයා පෙරළා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කළා.

    මෙහිදී අදාළ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අජිත් පතිරණ මහතා ද අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් නඩුවක් පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දෙන්නේ නම් සැකකරුවන් හා ඔවුන්ගේ නඩු භාණ්ඩ මුදාහැරීමට අධිකරණයට සිදුවන බව පෙන්වා දුන්නා.

    කෙසේ වෙතත් මේ පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීමට තමන්ට කාලය අවශ්‍ය බව සඳහන් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන ඉල්ලීම පිළිබඳ නියෝගය දෙසැම්බර් මස 03 වනදා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළා.

    Latest News