නිහඬව වැඩකර ජනතාවට ප්‍රතිඵල දෙන - අගමැති

මාර් 01, 2019
  • මධ්‍ය මහා විද්‍යාලවලට ගොඩනැගිලි 50ක් ලබා දෙමින් කන්නන්ගර මහතා ආරම්භ කළ නිදහස් අධ්‍යාපනය ඉදිරියට ගෙනයාම වෙනුවෙන් එකවර පාසල් 200ක් සංවර්ධනය කර දරුවන්ට ප්‍රතිලාභ දීමට හැකිවීම රටේ දරුවන් ලද සුවිශාල ජයග්‍රහණයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, රට පුරා පාසල් පහසුකම් සපිරි පාසල් බවට පත්කිරීමේ අධ්‍යාපන අමාත්‍යාංශයේ “ළඟම පාසල හොඳම පාසල“ ජාතික වැඩසටහනින් පාසල් 200ක සංවර්ධන ව්‍යාපෘති එකවර සිසු අයිතියට පත්කිරීමේ උත්සවය අමතමිනි. ජාතික වැඩසටහන කුලියාපිටියේ නගරසභා පිටියේ අද (01) පැවැත්විණ.

    අදහස් පළ කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ “මේ ආණ්ඩුව නිකන් බෙර ගහන්නෙ නෑ. නිශ්ශබ්දව වැඩකරලා ජනතාවට එහි ප්‍රතිඵල ලබාදෙනවා. අපි ඡන්දෙදි පොරොන්දු වුණා. අධ්‍යාපනයට වැඩිම මුදලක් වෙන්කරන්න. වියදම් වැඩි කරද්දි අපි තිරණය කළා අධ්‍යාපනය නවීකරණය කරන්න. සෞඛ්‍ය, නිවාස, මහාමාර්ග සංවර්ධනයට මුදල් දෙන්න. අපි විශාල ණයක් හැම අවුරුද්දෙම ගෙවමින් ඉන්නෙ. ඒ ණය අපි ගෙවන්න ඕනෙ. ඒ වෙනුවෙන් අපනයන වැඩි කරන්න, සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න, මේ හැම දේකට ම නවීන දැනුම තියෙන පිරිසක් ඕනේ. අධ්‍යාපනය දියුණු වෙලා තියෙන්න ඕනේ. හොඳ සෞඛ්‍ය තත්වයක්, ගමන් පහසුකම් තියෙන්න ඕනෙ. ඒ නිසා මේවා දියුණු කරන්න අපි තීරණය කළා. කොයි රටේ ද පාසල් ගොඩනැගිලි 200ක් එකසැරේ විවෘත කරන්නෙ. මේවා හිස් ගොඩනැගිලි නෙවෙයි. අවශ්‍ය සියලු නවීන උපකරණ මේවට ලැබෙනවා. සුරක්ෂා රක්ෂණාවරණය, ජංගම විද්‍යාගාර, පුස්තකාල, වැසිකිළි පහසුකම් සියල්ල පාසල්වලට ලබාදීලයි තියෙන්නෙ. මේව දැනගත්තම මොකක්ද අධ්‍යාපන අමාත්‍යාංශය කළේ කියලා බොහෝ දෙනෙකුට වැටහේවි. දැන් බය නැතුව ඊළග පිම්ම ගන්න අපි ලෑස්තියි. ස්මාර්ට් ක්ලාස් රූම් 200 ක් පාසල් පද්ධතියට එකතු වෙනවා. මේ හැම අංගයක් ම අපි අත්හදා බලාගෙන යනවා. විද්‍යා ගුරුවරු බඳවා ගන්නවා. මම කිව්වා ඔවුන් වෙනුවෙන් අලුතින් විද්‍යාපීඨයක් හදන්න කියලා අපි මේ රජය භාරගත්තෙ ආර්ථිකය ස්ථාවර කරන්න. ජනතාවට යහපතක් කරන්න. අපි ණය බර පාලනය කරල තියෙනවා. අධ්‍යාපනයට සෞඛ්‍යයට විශාල මුදලක් වැය කරල තියෙනවා. අපි අලුත් ක්‍රමවේද එක්ක සංවර්ධන කටයුතු කරන කොට එහෙම වැඩ කරන්න බැරි අය කෑගහනවා.” යැයි ද සඳහන් කළේය

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් “ ළඟම පාසල - හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ පාසල් 200ක සංවර්ධන ව්‍යාපෘති 200ක් එකවර සිසු අයිතියට පත්කරන්නට ලැබීම ගැන තමා ඉතා සතුටට පත්වන බවයි. මේ ව්‍යාපෘතිය මගින් මේ වනවිට පාසල් 9500කට වඩා සංවර්ධනය කරන්නට හැකි වූ බවත් ඉදිරියේ දී තවත් සංවර්ධන ව්‍යාපෘති 800කට වැඩි ප්‍රමාණයක් විවෘත කිරීමට තිබෙන බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. ජනතාවට දැනෙන වැඩකොටසක් මෑතකාලීනව ඉටු කළ බවත්, අද මේ රටේ විශාල දරුවන් පිරිසක් එම ප්‍රතිලාභ දැනටමත් අත්විඳින බවත්, මේ අයුරින් පද්ධතිය නඟා සිටුවීම වෙනුවෙන් ක්‍රියාත්මක වනවිට, එය ඉවසිය නොහැකි ඇතැම් පිරිස් නොයෙක් අයුරින් පහර දෙන බවත්, කෙතෙක් පහරදීම්, බාධා, විවේචන පැමිණියත් ඇරඹූ ගමන නතර නොකරන බවත් අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළා. රටේ අධ්‍යාපනය ගැන හඳුනන අගමැති කෙනෙක් සිටීම නිසා මෙවැනි දැවැන්ත වැඩපිළිවෙළක් සාර්ථකව ක්‍රියාත්මක කරන්නට හැකි වූ බවත්, මේ සඳහා කැපවුණු අමාත්‍යාංශ නිලධාරීන්, පළාත් සහ දෙපාර්තමේන්තු නිලධාරීන්, දේශපාලනඥයින් ඇතුලු සියලු දෙනා කෘතවේදී ව සිහිපත් කරන බවත්“ අමාත්‍යවරයා සඳහන් කළේය.

    බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, වයඹ පළාත් අධ්‍යාපන ලේකම්, කුරුණෑගල නගරාධිපති, වයඹ පළාත් හිටපු ආණ්ඩුකාරතුමිය, පළාත් සභා මන්ත්‍රීවරුන්, දිස්ත්‍රික් ලේකම්, කලාප අධ්‍යාපන නිලධාරීන්, විදුහල්පතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම උත්සව අවස්ථාවට එක්ව සිටියා.

    pmlangamapasala1 px 900 19

    pmlangamapasala2 px 900 19

     

     

    Last modified on සිකුරාදා, 01 මාර්තු 2019 15:54

    Latest News