වැල්ලවාය සපුගොඩ රක්ෂිතයේ විශාල ගින්නක්

පෙබ 18, 2022

    වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ආනපල්ලම ග්‍රාම නිලධාරී වසමේ සපුගොඩ කඳු රක්ෂිතයේ ඊයේ (17) පස්වරුවේ දී විශාල ගින්නක් හටගෙන තිබේ.

    එම ගින්න පැය කිහිපයක් තුල රක්ෂිතය පුරා වේගයෙන් පැතිර ගොස් ඇති අතර එම ගිනි දැල් අඩි විස්සකට වඩා උසින් දැල්වෙන ආකාරය දක්නට ලැබී තිබිණ.

    මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ දැනුම් දීමක් මත කුඹුක්කන එකසිය විසි එක් වන බලසේනා මූලස්ථානයේ යුද හමුදා සෙබලුන් කණ්ඩායමක් ගින්න මැඩපැවැත්වීම සදහා ඊයේ පස්වරුවේ දී එක් විය.
    පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්වය නිසා ගින්න මැඩපැවැත්වීම ඉතාමත්ම අසීරු වූ අතර ගින්න නිසා රක්ෂිතයේ අක්කර දෙසීයකට වඩා විනාශ වී ඇත.

    පැය ගනනක දුෂ්කර මෙහෙයුමකින් පසු ඊයේ රාත්‍රි වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට යුද හමුදා සෙබළුන්ට හැකි විය.

    කිසියම් පුද්ගලයකු රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට සැක කරන අතර වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ වැල්ලවාය වනසංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කරයි.

    Latest News