පරිසර හිතකාමී නිෂ්පාදන අලෙවිය සඳහා සතොසින් ඉඩ

පෙබ 18, 2022

    පරිසර අමාත්‍යාංශය විසින් පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන වෙනුවට විකල්ප පරිසර හිතකාමී නිෂ්පාදන හඳුන්වා දීම සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට තීරණය කර තිබේ.

    මේ වනවිට එක්වරක් පමණක් භාවිතා කරන පොලිතීන් හා ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන ගණනාවක් පරිසර අමාත්‍යාංශය විසින් තහනම් කිරීමට පියවර ගෙන ඇත. විශේෂයෙන් වැඩිම පාරිසරික හානියක් සිදු කරන ලන්ච්ෂීට්, සැෂේ පැකට්, ප්ලාස්ටික් කූර සහිත කොට්න් බඩ්, සුළං පුරවන ලද සෙල්ලම් භාණ්ඩ හා ඒ අතර වෙති.

    එමෙන්ම දැනට අපේ රටේ බහුලව පරිසරයට මුදා හරින දත්බුරුසු, කෑම පෙට්ටි, ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු හා ආහාර කළතන ද වේ. ඒ වෙනුවට ඉක්මනින් දිරාපත් වන ද්‍රව්‍ය යොදා ගනිමින් නිෂ්පාදිත ඉහත කී නිෂ්පාදන හඳුන්වා දීම සඳහා දේශීය නිෂ්පාදකයින් රැසක් ඉදිරිපත් ව සිටින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
    පරිසර හිතකාමී නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා අවස්ථාවන් ලබා දීම සම්බන්ධව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර හා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් පසුගියදා (16) පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්විනි. එහිදී පරිසර අමාත්‍යවරයා විසින් ප්ලාස්ටික්වලින් නිෂ්පාදනය කෙරෙන දත් බුරුසු, කෑම පෙට්ටි, හැඳි, ගෑරුප්පු, ආහාර කළතන, බීම බට හා සිලි සිලි බෑග් වෙනුවට යොදා ගත හැකි ඉක්මනින්ම දිරාපත්වන විකල්ප නිෂ්පාදන රැසක් වෙළෙඳ අමාත්‍යවරයාට ඉදිරිපත් කළේය.

    එහිදී අදහස් පළ කළ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා දිවයින පුරා පිහිටි සතොස වෙළෙඳ සැල් ජාලය මගින් ඒවා අලෙවි කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමටත්, එම විකල්ප නිෂ්පාදකයින්හට වෙළෙඳපොල් නතු කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දිය හැකි බව ද සඳහන් කළේය.

    පරිසරයට විශාල හානියක් සිදු කරන ප්ලාස්ටික් වතුර බෝතල් සඳහා විශාල වට්ටමක් ලබා දෙමින් ඒවා පරිසරයට මුදා හැරීම වළක්වා ලීමටත්, අවම මිලක් යටතේ ඒවා මිල දී ගැනීම අවස්ථාව ලබා දීම සම්බන්ධවත් පරිසර අමාත්‍යවරයා වෙළෙඳ අමාත්‍යවරයාට කෘතඥතාවය පළ කළේය.

    සෑම පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදනයක්ම දිරාපත්වීම සඳහා වසර 100සිට 450ක් දක්වා කාලයක් ගත වේ. එසේ දිරාපත් වුවද ක්ෂුද්‍ර ප්ලාස්ටික් අණු වසර මිලියනයක් ගිය ද පසෙහි හා ජලයෙහි තැම්පත්ව පවතී. මිනිසා විසින්ම නිෂ්පාදනය තම පහසුව සඳහා නිපදවා ගත් පොලිතීන් හා ප්ලාස්ටික් මානව ශිෂ්ඨාචාරය විනාශ කිරීමට හේතු වී ඇතැයි ද එම විපතින් මානවයා ගලවා ගත හැක්කේ මිනිසාට ම බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    Latest News