ඇමති බැසිල් ලිත් නඩුවෙන් නිදහස්

පෙබ 01, 2022

    ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කර බෙදා හැරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන අය එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

    කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා මෙම තීන්දුව ලබා දුන්නේය.

    තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, මෙම නඩුවේ පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ සාක්ෂි පැමිණිල්ලේ චෝදනා ඔප්පු කිරීමට නොව ඒවා බැහැර කිරීමට හේතුවී ඇති බවයි.

    "මෙම නඩුවේ සාක්ෂි දුන් දිවිනැගුම දෙපාර්තමේන්තුවේ ඩිලාන් කළුආරච්චි නැමැති සාක්ෂිකරුගේ සාක්ෂියට අනුව මෙම ලිත් මුද්‍රණය කිරීමේ ක්‍රියාවලිය 2011 වසරේ සිදුවී ඇති බව අනාවරණය වී තිබෙනවා. දිවිනැගුම දෙපාර්තමේන්තුව ආරම්භ කළ අවස්ථාවේ පටන් එය එම දෙපාර්තමේන්තුවේ අරමුණට අනුව සිදුවන බවත් එම සාක්ෂිකරු ප්‍රකාශ කර තිබුණා. 2015 වසර සඳහා 2014 වසරේ අවසන් භාගයේ මෙම නඩුවට පාදක වන ලිත් මුද්‍රණය කිරීම ද ඒ අනුව සිදු වූ බව සාක්ෂිකරු ප්‍රකාශ කළා." යනුවෙන් විනිසුරුවරයා සඳහන් කළේය.

    "මෙම නඩුවට පාදකවන මුද්‍රණය කරන ලද ලිත්වල එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැළයක් රෝපණය කරන ඡායාරූපයක් ඇතුලත් වෙනවා. එය දිවි නැගුම ජාතික වැඩසටහනේ දී ගත් ඡායාරූපයක් බව ද සාක්ෂි වලදී අනාවරණය වුණා. ඡායාරූපය ඇතුලත් කිරීම ද දිවිනැගුම දෙපාර්තමේන්තුවේ අරමුණුවලට අනුකූලව සිදු වූ බවත් සාක්ෂිකරු සඳහන් කර තිබුණා. 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද විධානයකට අනුව එම ලිත් බෙදාහැරීම 2014 වසරේ දෙසැම්බර් මස 30 වැනිදා අත්හිටුවීමට පියවර ගෙන තිබුණා. එහෙත් දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හේමචන්ද්‍ර ධර්මසිරි නමැති සාක්ෂිකරු ලබාදුන් සාක්ෂිය ප්‍රකාරව මෙම ලිත් මුද්‍රණය කිරීම විසර්ජන පනත යටතේ වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදනවලට අනුකූලව මහා භාණ්ඩාගාරයේ අනුමැතිය මත සිදු වී ඇති බව අනාවරණය වුණා."යනුවෙන් විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

    වැඩිදුරටත් තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා"මෙම ලිත් මුද්‍රණය කිරීමේ ක්‍රියාවලිය පිළිගත් නිවැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුකූලව සිදු වී තිබෙන බව සාක්ෂිවලින් අනාවරණය වී තිබෙනවා. ගෙවීම්ද විධිමත්ව හා නිසි ආකාරව සිදුවී ඇති බව අනාවරණය වුණා. එය පුනරාවර්තන වියදමක් වශයෙන් පිළිගැනෙන බව සාක්ෂිවලින් සඳහන් වුණා." යනුවෙන් ප්‍රකාශ කළ විනිසුරුවරයා ඉදිරිපත් වූ සාක්ෂි පිරික්සීමේදී මෙම ලිත් මුද්‍රණය කර බෙදා හැරීමේ ක්‍රියාවලිය හරහා අවභාවිතාවක් හෝ ජනාධිපතිවරණ පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය වීමක් සිදු වී ඇති බවට සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බව සඳහන් කළේය.

    ඒ අනුව විත්ති වාචිකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බවත් විනිසුරුවරයා අවසන් වශයෙන් සිය තීන්දුවෙන් සඳහන් කර සිටියේය.

    එමෙන්ම තම අධිකරණය මගින් විත්තිකරුවන්ට එරෙහිව යම් විදෙස් ගමන් තහනමක් පනවා තිබුණේ නම් එය ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසත් විත්තිකරුවන් විසින් අධිකරණය හමුවේ තැන්පත් කර තිබෙන ඇප මුදල් ඔවුන් වෙත මුදාහැරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය. 

    Latest News