ප්ලාස්ටික් ප්‍රතිචක්‍රියකරණ අරමුණෙන් 'Waste to Wealth'

පෙබ 01, 2022

    කොළඹ සිංහ සමාජයේ මුළික අනුග්‍රහය යටතේ  W to W සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ ඉවත දමන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රියකරණය කිරීමේ පරමාර්ථය ඇතිව ආරම්භ කරන ලද  W to W හෙවත් Waste to Wealth වෙබ් අඩවිය දියත් කිරීම ඊයේ දින (31) පෙරවරුවේ පරිසර අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.

    පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අන්තර්ජාල අඩවිය දියත් කිරීමේ වැඩසටහනට සිංහ සමාජය 306 – 02-  බී සිංහාධිපති කෞශල්‍ය රාජපක්ෂ  ඇතුළු පිරිසක්  සහභාගි වී සිටියහ. මීට අමතරව හිටපු සිංහාධිපති මහේන්ද්‍ර අමරසූරිය මහතා ප්‍රමුඛ පිරිසක් Zoom යෙදවුම ඔස්සේ සාකච්ඡාවකට එක්වූහ.

    මෙම අන්තර්ජාල අඩවිය දියත් කිරීමේ අරමුණ පැහැදිළි කළ සිංහාධිපති කෞශල්‍ය රාජපක්ෂ යම් කිසි පුද්ගලයෙකුට අවශ්‍ය නැති, එහෙත් තවත් පුද්ගලයෙකුට අවශ්‍ය විය හැකි උපකරණ විනාශ නොකර හා පරිසරයට මුදා හැරීම වැළැක්වීම සඳහා ජාලගත ක්‍රමයට ඒවා තවත් පුද්ගලයෙකුට ලබා ගැනීමට අවස්ථාව ලබා දීම මෙම වැඩ පිළිවෙළේ අරමුණ බව ද අවධාරණය කළේය.

    දැනට ලෝකයේ බොහෝ රටවල පුද්ගලයින් භාවිතා කරන උපකරණ විනාශ නොකර තවත් පුද්ගලයෙකුට අවශ්‍ය නම් ඒවා ඔන්ලයින් ක්‍රමයට ලබාදීමේ වැඩ පිළිවෙළ ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වේ. නමුත් අපේ රටේ තවමත් එවැනි ක්‍රමයක් ක්‍රියාත්මක නොවන හෙයින් මෙම වෙබ් අඩවිය එහි පළමු අවස්ථාව වන බව ද හෙතෙම අවධාරණය කළේය.

    විශේෂයෙන් ප්ලාස්ටික් භාණ්ඩ විදිමත් ක්‍රමයකින් තොරව පරිසරයට මුදා හැරීම වැළැක්වීම මෙමගින් සිදුවන අතර සාගරයට හා අපගේ ජල මූලාශ්‍රවලට එක් වෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කර ගැනීමට හැකි වන බව ද ඔහු පැවසීය.

    මෙම වෙබ් අඩවිය දියත් කරමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරි මාස තුන තුළ ශ්‍රී ලංකාවෙන්  නොදිරණ ලන්ච් ෂීට් භාවිතය මුළුමනින්ම තුරන් කිරීමට කටයුතු කරන බව සඳහන් කළේය.

    ලන්ච්ෂීට් භාවිතය 2017 තහනම් කර ගැසට් පත්‍රය නිකුත් කළ නමුත් එය ක්‍රියාත්මක නොවීය. නමුත් 2021 වසරේ අගෝස්තු 01 දින සිට නොදිරණ ලන්ච්ෂීට් භාවිතය, අලෙවිය, නිෂ්පාදනය හා බෙදාහැරීම තහනම් කරනු ලැබීය. ඒ අනුව මේ වනවිට අපේ රටේ නොදිරණ ලන්ච්ෂීට් භාවිතය 90%කින් අවම වී ඇතැයි ද අමාත්‍යවරයා සදහන් කළේය.

    ඉදිරි මාස තුන තුළ වැටලීම් හා දැනුම්වත් කිරීමේ කටයුතු වේගවත් කරමින් නීතිමය පියවර ගන්නා බවත් ඒ අනුව ඉදිරි මාස තුනක් තුළ ලන්ච්ෂීට් භාවිතය අපේ රටෙන් තුරන් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    Latest News