නඩු තුනකින් ඇමති ජොන්ස්ටන් නිදහස්

ජන 28, 2022

    අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබූ නඩු තුනකින් ඔවුන් නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා ඉදිරියේ අද නඩුව කැඳවූ අවස්ථාවේදී.

    එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ "අනෝමා පොල්වත්ත "නඩු තීන්දුවට අනුව මෙම නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවයි.

    ඒ අනුව අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තුන්දෙනාගේ විධානයන් ලබා ගෙන යළි නඩු පැවරීමේ අයිතියට යටත්ව මෙම විත්තිකරුවන් මුදා හරින ලෙස එම කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියි.

    එය පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා අනතුරුව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන් පිරිස නිදහස් කිරීමට නියෝග කළේය.

    2010 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ස.තො.ස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම් වල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි හතරකට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා, ස.තො.ස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව පසුගිය යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනු කර තිබිණ.

    Last modified on සිකුරාදා, 28 ජනවාරි 2022 14:56

    Latest News