අත්හිටුවීමේ නියෝගයෙන් පාවෙන අවි නඩුව කල් යයි

පෙබ 26, 2019

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අප්‍රේල් මස 29 දක්වා කල් දැමීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. 

    මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී පැමිණිලි හා විත්ති පාර්ශවයේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ විභාගය අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් දැනටමත් තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවයි.

    එම තහනම් නියෝගය පිළිබඳ විභාගය අභියාචනාධිකරණය හමුවේ පැවැත්වෙන බැවින් එහි තීන්දුවක් ලැබෙනතුරු මෙම නඩු විභාගය කල් තබන මෙන් අධිකරණයෙන් පාර්ශවකරුවන් ඉල්ලා සිටියේය.

    එම ඉල්ලීම සලකා බැලූ අධිකරණය නඩු විභාගය අප්‍රේල් මස 29 දක්වා කල් තැබීමට තීන්දු කළේය. 2010 වසරේ සිට 2014 වසර දක්වා වූ කාලසීමාව තුළ avan garde maritime services සමාගමට ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම නඩුව පවරා තිබේ.

    මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න, රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු, ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති යන අය ද නම් කර තිබේ.

    ඊට අමතරව සෝමතිලක දිසානායක ජයනාත් කොළඹගේ සහ ජයන්ත පෙරේරා යන හිටපු නාවික හමුදාපති වරු තුන්දෙනා දැන් එම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 26 පෙබරවාරි 2019 14:57

    Latest News