ගාමිණි සෙනරත්ට ලිට්ට්‍රෝ මුදලට නඩු නිමිත්තක්

පෙබ 26, 2019

    හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් එරෙහි ලිට්‍රෝ ගෑස් සමාගමේ මුදල්  සාවද්‍ය ලෙස පරිහරණ පෙත්සමේ ස්ථාපිත නඩු නිමිත්තක් ඇතැයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණයට දන්වා සිටි.

    පැමිණිල්ලේ සාක්ෂි කිසිදු අවස්ථාවක විත්තිය අභියෝගයට ලක් නොකළ බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේය.

    ලිට්‍රෝ ගෑස් සමාගමේ මුදල් සාවද්‍ය පරිහරණය චෝදනා යටතේ ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට නීතිපති විසින් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ගොනු කළ නඩුව අද විභාගයට ගැණින. නඩුව අද සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණ.

    මෙම නඩුවේ ඉදිරිපත් වූ සාක්ෂිවලින් විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත්කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බැවින් ඔවුන් නිදහස් කරන මෙන් විත්තියේ ඉල්ලීම ඊයේ කෙරිණ.

    ඒ අනුව අද ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණයට දන්වා සිටියේ පැමිණිල්ල ඉදිරිපත් කළ සාක්ෂි වලින් බැලූ බැල්මට නඩු නිමිත්තක් ස්ථාපිත වී ඇති බවයි. පැමිණිල්ලේ සාක්ෂි කිසිදු අවස්ථාවක විත්තිය විසින් අභියෝගයට ලක් නොකළ බව සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඒ තුළින් කැපී පෙනෙන නඩු නිමිත්තක් ස්ථාපිත වී ඇතැයි ද කියා සිටියේය. මේ හේතුවෙන් විත්තිවාචකය නොකැඳවාම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන මෙන් විත්තිය විසින් කරන ඉල්ලීම පදනම් විරහිත බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.

    අනතුරුව නඩු විභාගය නැවත ලබන 11 වනදා කැඳවීමට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එ දිනට මෙම ඉල්ලීමට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කිරිමට නියම කෙරිණ.

    2014 වසරේ පෙබරවාරි පළමු වනදා සිට 2015 වසරේ ජනවාරි මස 20 වනදා දක්වා ලිට්‍රෝ ගෑස් සමාගමේ රුපියල් මිලියන 500ක් හෙලන්කො හොටෙල් ඇන්ඩ් ස්පා සමාගමේ යෙදවීමෙන් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණ චෝදනා ඉදිරිපත් කර ඇත. එ අනුව පොදු දේපොළ පනත යටතේ ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා නඩුව පවරා තිබේ. පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන අය නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස නම් කර ඇත.

     

    Latest News