ඵලදායිතා සංකල්පය පෙර පාසල්වලටත්

දෙසැ 22, 2021

    ඵලදායිතා සංකල්පයට අනුව වැඩ කිරීමට ජනතාව හුරු කිරීම පෙර පාසල් අධ්‍යාපනයේ සිටම ආරම්භ කිරීමෙන්, එම සංකල්පය වඩාත් හොඳින් සමාජගත කළ හැකිවනු ඇති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ (21) පෙරවරුවේ බත්තරමුල්ලේ පිහිටි ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ නීරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

    දැනටමත් කොළඹ දිස්ත්‍රික්කයේ පෙර පාසල් ගුරුවරියන් ඉලක්ක කරගෙන පවත්වාගෙන යනු ලබන ඵලදායිතා පුහුණු වැඩසටහන් දිවයිනේ අනෙකුත් සියළු දිස්ත්‍රික්කවල පෙර පාසල් ගුරුවරියන් සඳහා ද ක්‍රියාත්මක කරන ලෙසත් ඒ අනුව හොඳම පෙර පාසල් තෝරාගෙන සම්මාන ලබාදීමට වෙනම වැඩසටහනක් හඳුන්වා දෙන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    ජීවන වියදම දිනෙන් දිනම වැඩි වෙමින් පවතින මෙම වකවානුවේ හැකි උපරිමයෙන් නාස්තිය අවම කොට වැඩ කිරීමේ වැදගත්කම අවධාරණය කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඒ සඳහා ඵලදායිතා සංකල්පය අනුව වැඩ කිරීමට ජනතාව පෙළඹවිය යුතු බවයි.

    ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ ප්‍රධාන කාර්යාලය තුළ 100 ක පමණ කාර්ය මණ්ඩලයක් සහ දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් 670 ක පමණ කාර්ය මණ්ඩලයක් සහිත පුළුල් ජාලයක් මගින් ඵලදායිතා වැඩසටහන රටපුරා ක්‍රියාත්මක කරන බව ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ගයාන් අල්ගෙවත්තගේ මහතා අමාත්‍යවරයාට මෙහිදී පෙන්වා දුන්නේය.

    2020 වර්ෂයේදී ජාතික ඵලදායිතා සම්මාන දිනාගත් අයට සම්මාන ප්‍රදානය කිරීම ලබන වසරේ මුල් කාර්තුවේදී පැවැත්වීමට අවශ්‍ය උපදෙස් ලබා දීම ද මෙහිදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින් සිදුවිය.

    Latest News